ජාතින් හා ආගම් අතර සංහිඳියාව බිඳ දැමීමේ ප්‍රකාශ කළ බවට ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මෙන්ම අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් සහ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පුද්ගලයන් සම්බන්ධයෙන් ලද පැමිණිලි 21ක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකවන බව පොලිසිය පවසයි.

බදාදා (ජුනි 21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ මාධ්‍යයට කර ඇති අදාළ ප්‍රකාශවලට අදාළ මුලික හඬපට එම මාධ්‍ය ආයතනවලින් ලබාගෙන පරීක්ෂණ පැවැත්වෙන අතර අධිකරණයට ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තාකර ඇති බවය.

මීට අමතරව පසුගිය මැයි 16 වන දින සිට ආගමික සිද්ධස්ථාන හා ව්‍යාපාරික ස්ථාන 14 කට පහරදීම් වාර්තාවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඊට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 15 කි.

අස්ගිරිය පාර්ශවය

මේ අතර ඊයේ (ජුනි 21) අස්ගිරිය පාර්ශ්වීය කාරක සංඝ සභාව විසින් රජයට කරන ලද නිවේදනය පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ රජය එම කරුණු අධ්‍යනය කර පසුව නිවේදනයක් නිකුත් කරන බවය.

ඔහු පෙන්වාදුන්නේ, “ඥානසාර හිමියන්ට ක්‍රියාත්මක වෙන්නේ නීතිය, ඒවගේම අනිත් සිංහල මුස්ලිම් අයටත් නිතිය ක්‍රියාත්මක කරලා තියෙනවා”

“කවුරුත් නීතියට අයත්, කොයි ආගමේද, කොයි භික්ෂුන් වහන්සේද, කොයි පුජකයාද කවුරුත් නීතියට යටත්” යනුවෙනි.

භික්ෂුන් වහන්සේලා ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂා කරගෙන හැසිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව ඇමතිවරයා පැවසීය.

“ඒකට තමයි මේ රටේ විනය කමිටු වගේ ඒවා හදල තියෙන්නේ, එහෙම තමයි භික්ෂු ශාසනය බුදුරජාණන් වහන්සේගෙන් පසුව තිබුණේ” යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.