ජාති, ආගම්, භාෂා, කුල, වර්ණ බේද නොමැති ක්‍රීඩාපිටිය සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයක් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (15) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ක්‍රීඩා තරු ක්‍රීඩා උළෙල 2016 සමාරම්භක උත්සවය අමතමිනි.

දිවයිනේ පළාත් 09 ම නියෝජනය කරන ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩා නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම ක්‍රීඩා තරු ක්‍රීඩා උළෙල පැවැත්වෙයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සංහිඳියාව වචනයට සීමා නොකර ක්‍රියාත්මක මට්ටමට ගෙන ඒම සඳහා පසුගිය වසර එක හමාර තුළ රජය උපරිම කැපවීමකින් කටයුතු කළ බවයි.

රටේ ජනතාව අතර සාමය, සමගිය, සහෝදරත්වය සහ විශ්වාසය ගොඩනගමින් රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළේදී ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ලබාදිය හැකි දායකත්වය ඉතා ඉහළ බවද ජනාධිපතිතුමා පැවසීය.

ඒ අනුව දිවයිනේ පළාත් නවයේම නාගරික මෙන්ම ගම්බද ක්‍රීඩාපිටි වැඩිදියුණු කරමින් ඒවා සියල්ල ජනතාව අතර සංහිඳියාව ගොඩනගන කේන්ද්‍රස්ථාන බවට පත් කරන බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

ක්‍රීඩා නිලධාරින් සහ පුහුණුකරුවන් වෙනුවෙන් රජයෙන් ලබා දියහැකි උපරිම වරප්‍රසාද හා සේවාවන් ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා මෙරට සියලූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා හා හැකියාවන් තුළින් ජාතික මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණය ලබාගත හැකි අයුරින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සියලූ අංශ වැඩිදියුණු කරන බවද කියා සිටියේය.

සිය සේවා කාලය තුළ විශිෂ්ටතා දැක්වූ විශ්‍රාමික ක්‍රීඩා නිලධාරින් 10 දෙනෙකුට සම්මාන ලබාදීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ඇමතිනි තලතා අතුකෝරල, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, සබරගමුව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, සබරගමුව පළාත් ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ යන මහත්ම මහත්මින් ද ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.