සමාජයේ මතයක් තිබෙනවා මේ ආණ්ඩුව දුර්වලයි කියලා, නිශ්චිත නැහැ කියලා. ජනාධිපතිතුමනි මේ ආණ්ඩුව නිශ්චිත නැද්ද, එහෙම නැත්නම් දුර්වලද?

මේ ආණ්ඩුව නිශ්චිත නැද්ද, දුර්වලද කියන එකේදී පළමු කාරණය තමයි මේ ආණ්ඩුව හැදුණේ කොහොමද කියන එක. පසුගිය ජනාධිපතිවරණයේදීත්, ඒ වගේම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මැතිවරණ ප‍්‍රකාශනවල සඳහන් කළා අපි බලයට පත්වෙලා හදන ආණ්ඩුව සම්මුතිවාදී ආණ්ඩුවක් කියලා. ප‍්‍රධාන දේශපාලන පක්ෂ වගේම රජයට ඒකරාශීවීමට කැමති පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවලට අපි ආරාධනා කළා ආණ්ඩුව එක්ක එකතු වෙන්න, රට සහ රටේ ජනතාව වෙනුවෙන් කියලා.

ඒ වගේම තමයි ඔබ කිව්වා වගේ මේ ආණ්ඩුවේ ක‍්‍රමය මේ රටේ සියලූදෙනාටම අලූත් අත්දැකීමක්. රටේ මහජනයාට, ආණ්ඩුව කරන අපිට, සියලූ දේශපාලනඥයින්ට, රාජ්‍ය නිලධාරින්ට, ව්‍යාපාරිකයින්ට මේ හැම කෙනෙකුටම මේක අලූත් අත්දැකීමක්. මොකද නිදහසින් පසු ලංකාවේ මේ විදියේ සම්මුතිවාදී ආණ්ඩුවක් හැදිලා නැහැ. නමුත් සම්මුති ආණ්ඩුවක අවශ්‍යතාවය පසුගිය දශක කිහිපයේම මේ රටේ සාකච්ඡාවට ලක් වූ කාරණයක්. නැඟුණු හඬක්.

යුද්ධය ඉතාම නරක තත්ත්වයක තිබෙද්දි සමහර අවස්ථාවන් තිබුණා එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදින් වඩා ශක්තිමත්බව පෙන්වන අවස්ථාවන්. එවිට රටේ මහජනයා කිව්වා සියලූදෙනා එකට එකතුවෙලා ආණ්ඩුවක් විදියට මේ ප‍්‍රශ්නයට මුහුණදෙමු කියලා. ඒ වගේම තමයි අපි ගත්තොත් සුනාමි ව්‍යසනය, ඒ වගේම ජාතියටම පොදුවේ බලපාන කරුණු ගත්තහම ඒ සෑම අවස්ථාවකදීම වගේම එල්.ටී.ටී.ඊ ය පරාජය කළාට පස්සෙත් රට තුළ පොදු මතයක් ගොඩනැගුණා දැන් සියලූදෙනා එකට එකතුවෙලා රට ගොඩනගන්න ඕන කියලා.

ඒ නිසා මේ සම්මුතිවාදී ආණ්ඩුවක් පිලිබඳව ජනතාවගේ ඉල්ලීම, මතය හා මේ පිලිබඳ සංවාදය දීර්ඝකාලීනයි. අපි පසුගිය අවුරුද්දේ මේ කාර්ය ඉෂ්ට කළා. එයින් සැහීමකට පත්වුණේ නැති පිරිස වැඩියි ඇත්තෙන්ම කියනවනම්. මීටත් වඩා සරලව ගත්තොත් දැන් ආණ්ඩුව කරගෙන යනකොට එක්සත් ජාතික පක්ෂයේ ගමේ ඉන්න කෙනා කියනවා මේක ඒක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් නෙවේ කියලා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ගමේ ඉන්න කෙනා කියනවා මේක ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ආණ්ඩුවක් නෙවේ කියලා.

ඒ මොකද අපේ දීර්ඝකාලීන පුරුද්ද, සම්ප‍්‍රදාය පවත්වාගෙන ආපු දේ තමයි තනි පක්ෂයක ජයග‍්‍රහණයත් එක්ක තනි පක්ෂයක පාලනයක්. නමුත් මේ වන විට ජාතික සහ අන්තර්ජාතික තත්ත්වයන් ගත්තහම තනි ආණ්ඩු ඇතැම් විට සාර්ථකයි වගේම බොහෝ දේවල්වලින් අපි අසාර්ථකයි කියල අපිට අවංකව කියන්න වෙනවා.

දැන් 60 දශකයේ මුල් කාලයේ ලී ක්වාන් යු කිව්වා සිංගප්පූරුව ශී‍්‍ර ලංකාව වගේ කරන්න එයාට බලය දෙන්න කියාල. කෝටි නව ලක්ෂයක ණය බරයි, දීර්ඝ කාලයක යුද්ධයෙන් පසුව අපට ආපු එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාවේ යෝජනායි මේ වගේ කරුණු ගණනාවක් අද අපිට තිබෙනවා.

මේ ආර්ථික හා දේශපාලන අර්බුද එක්ක මෙවැනි ආණ්ඩුවක අවශ්‍යතාවය ඉතාමත් දැඩියි. නමුත් පුරුද්ද වෙනම ආණ්ඩු කිරීම, සම්ප‍්‍රදාය වෙනම ආණ්ඩු කිරීම, වෙනම ආණ්ඩු කිරීමේ දේශපාලන සංස්කෘතියක් මේ රටේ තිබෙන්නේ. ඒ නිසා වෙනම ආණ්ඩු කිරීමේ දේශපාලන සංස්කෘතිය, සම්ප‍්‍රදාය හා සිරිත අපට විශාල අභියෝගයක්.

ආණ්ඩුව නිශ්චිත නැද්ද, දුර්වලද කියල ඔබ අහපු ඒ ප‍්‍රශ්නෙදි ඔන්න ඔය මම කියපු කාරණා ටික තිබෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා අපි ඉතා ශක්තිමත් ආණ්ඩුවක්.

ජනාධිපතිවරයා විදියට මට හැට දෙලක්ෂ පනස්දහසකට ආසන්න ඡුන්ද සංඛ්‍යාවක් ලැබුණා. ඊළගට අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අපි සම්මත කරපු අය වැය, යෝජනා මේ සියල්ල ගත්තහම බොහොම පැහැදිළිව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපට තිබෙන කරුණුවලදි මානව හිමිකම් කොමිෂන් සභාවෙන් අපට ආපු යෝජනාවලත් තිබුණා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තියෙද්දි කළයුතු කාර්යයන් ඇයි ප‍්‍රමාද කරන්නේ කියලා. එතකොට බොහොම පැහැදිළි ලෙසම අපි ශක්තිමත් ආණ්ඩුවක්. අපි දුර්වල ආණ්ඩුවක් නෙවේ.

ගිය සතියේ ඉරිදා පුවත්පත්වල මම ලිපි කිහිපයක් කියෙව්වා විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් ලියපු ලිපි. ඒ ලිපි කිහිපයකම මම දැක්කා තිබෙනවා ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි කියලා. ඒක උගතුන්ගේ මතයක් විදියටයි මම දැක්කේ. ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි කියන මතයෙන් එන්නේ ආණ්ඩු පක්ෂය ශක්තිමත් කියන එකයි. විපක්ෂය දුර්වලයි කියන එකයි. ඒක තමයි ඇත්ත තත්ත්වය. කරුණු ගණනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් පැහැදිළිවම අපි ඉතාමත් ශක්තිමත් ආණ්ඩුවක්. හොල්ලන්න බැරි ආණ්ඩුවක්.

 

සංවර්ධනය ගැන කථා කළොත් මේ ආණ්ඩුව කිසිම සංවර්ධනයක් කරන්නේ නැහැ කියන චෝදනාව තිබෙනවා.

එතනත් තිබෙන ප‍්‍රශ්නය තමයි අපි ආණ්ඩුව ගන්නකොට කළිත් තිබුණු ආණ්ඩුව වැඩ කරපු ක‍්‍රමය බලාපොරොත්තු වෙනවා. ඒ ක‍්‍රමයටම අපිත් යයි කියලා. ඒ මොකද ඉස්සර ගමක පාරක් හදනකොට ඇස්තමේන්තුව ගන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ අනුමැතියක් නැහැ. කැබිනට් අනුමැතියක් නැහැ. ටෙන්ඩර් කැඳවීමක් නැහැ. ප‍්‍රධාන කොන්ත‍්‍රාත්කරුවෙකුට කියනවා අන්න අර පාර හදන්න අර කිලෝමීටර් 10 ක් තියෙනවා ඒක කරන්න. කිව්වහම එයා කරනවා. අන්න අර ගොඩනැගිල්ල හදන්න කිව්වහම කරනවා. දැන් මට ගිය සුමානේ මේ රටේ තිබෙන ප‍්‍රධාන ඉදිකිරීම් ආයතනයක් ලියුමක් එවලා තිබුණා අරලියගහ මන්දිරයේ ඉදිකළ ලස්සන විශාල ශාලාවේ හිඟ මුදල් ඉල්ලලා. ඒ ශාලාවේ ඇස්තමේන්තුවක් නැහැ. කැබිනට් අනුමැතියත් නැහැ. ප‍්‍රධාන ව්‍යාපාරික ඉදිකිරීම් සමාගමකට කිව්වා මෙන්න මෙහෙම එකක් හදන්න. ඇන්දා හැදුවා. ප‍්‍රධාන වශයෙන් වංචාව, දූෂණය, අක‍්‍රමිකතාව, නාස්තිය මුල්‍ය විනය සහ මුල්‍ය කළමනාකරණය කියන මේ යහපාලන සංකල්පත් එක්ක මුල්‍ය විනය සහ මුල්‍ය කළමනාකරණය කියන එක ඉතාමත් වැදගත්. කෝටි ගණන් බිලියන් ගණන් වැඩ ටෙන්ඩර් කැඳවීමක් නැතිව කරනවා නම් මුදල් අමාත්‍යාංශය අනුමත කරන්නේ නැත්නම් කැබිනට් මණ්ඩලය අනුමත කරන්නේ නැත්නම් නිකම් මේ සාමාන්‍ය බුලත් විට කඩයක වගේ ආණ්ඩුවේ අයවැය කරන්න බැහැ. භාණ්ඩාගාරයට වැඩ කරන්න බැහැ. ඔහොම චෝදනාවක් ගිය අවුරුද්දේ බොහොම තදට ආවා මේ ආණ්ඩුව වැඩ කරන්නේ නැහැ කියලා. ඉදිකිරීම් ක්ෂේත‍්‍රය ඇතුළු ව්‍යාපෘති ගණනාවක කටයුතු අපිට තාවකාලිකව නවත්වන්න සිද්ධ වුණා.

 

ඔබ කියන්නේ ක‍්‍රමවේදයන් හදන්න ඕනෑ කියාද?

ක‍්‍රමවේදයන් හදන්න ඕනෑ. පසුගිය ආණ්ඩුව කාලේ කරපු ප‍්‍රධාන ව්‍යාපෘති ගණනාවක මුදල් ගෙවන්න විදියක් නැහැ. මුදල් ගෙවන්න විදියක් නැත්තේ සල්ලි නැතිව නෙවෙයි. ඒවා අනුමත කරන්න නිලධාරීන් එකඟ වෙන්නේ නැහැ. භාණ්ඩාගාරය කියනවා අපිට බැහැ කියලා. අදාළ අමාත්‍යාංශ කියනවා අපි දන්නේ නැහැ. අපිට බැහැ මේකේ වගකීම ගන්න කියලා. ගණකාධිකාරිවරු කියනවා ඒ අවශ්‍ය ක‍්‍රියාපටිපාටියට මේක ඇවිල්ලා නැහැ කියලා.

 

ඒ කියන්නේ ටෙන්ඩර් පටිපාටියක් නැහැ ක‍්‍රමවේදයක් නැහැ.

ටෙන්ඩර් පටිපාටියක් නැහැ. ඇස්තමේන්තුවක් නැහැ. ඇස්තමේන්තු අනුමත කිරීමක් නැහැ. බොහෝ වෙලාවට අපි දන්නවා විශාල ව්‍යාපාර කරන කොට ශක්‍යතා අධ්‍යයනයක් කරනවා. බොහෝ විශාල ව්‍යාපෘති ශක්‍යතා අධ්‍යයනයක් කරලා නැහැ. හොඳම උදාහරණය තමයි මත්තල ගුවන් තොටුපළ. මත්තල ගුවන්තොටුපළට ශක්‍යතා අධ්‍යයනයක් නැහැ. මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීමට නියමිතව තිබුණේ විශාල වෙල්යායක් සහිත ප‍්‍රදේශයක. මට අද වගේ මතකයි චමල් රාජපක්ෂ මහත්මයා ඒ පැත්තේ ජනතාව මුණගැහෙන්න වෙන මොනවා හරි වුවමනාවකට ගියාම මහජනයා වට කරගෙන කිව්වා මේ අපේ වෙල්යායවල් යට වෙනවා මේක නවත්වන්න කියලා. එතුමා ඒ වෙල්යායේ ඉඳලම ජංගම දුරකථනයෙන් හිටපු ජනාධිපතිතුමාටයි ඒ කාලේ හිටපු අයට කතා කරලා කිව්වා මෙහෙ විශාල මහජන විරෝධයක් තියෙනවා. මේ වෙල්යාය අහුවෙනවා. මේක දෙන්න බැහැ. මෙතන නෙවෙයි හොඳ අන්න අතනට යන් කියලා කිව්වා. ඒ කියපු තැනට ගියා.

ඇයි අපට ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව, ජපන් ජාත්‍යන්තර බැංකුව. ජයිකා. ඇයි මේවා නැවතුනේ. දැන් මේ අවුරුද්දේ ලෝක බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය අපේ රටට ආවා. අපිව හමු වුණා. අවුරුදු 36 කට පස්සේ ලෝක බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය ලංකාවට ආවේ. ඒවගේම තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලයි හිටියේ. ආසියානු සංවර්ධන බැංකුව සම්පුර්ණයෙන් අපිට ණය දෙන ඒවා ආධාර දෙන ඒවා මේ සියලූ දේවල් වලින් අයින් වෙලයි හිටියේ. ජයිකා ජපන් ජාත්‍යන්තර බැංකුව අපට දීර්ඝ කාලීනව විශාල වශයෙන් උදව් කරපු බැංකුවක්. නමුත් පසුගිය දශකය ගත්තහම වේගයෙන් පස්සට ගියා. ඉතින් ඇයි මෙහෙම වුණේ. අපේ රටේ විතරක් නෙවෙයි අපේ රටේ උගතුන් බුද්ධිමතුන් විතරක් නොවෙයි අන්තර්ජාතික වශයෙන් මුල්‍ය ආයතන සියල්ලම මේක දැක්කා දැනගත්තා. හඳුනා ගත්තා. මුල්‍ය විනයක් නැහැ. මුල්‍ය කළමනාකරණයක් නැහැ. වංචාව, දූෂණය, අක‍්‍රමිකතාවය පිරිලා කියන එක.

 

ජනාධිපතිතුමනි දැන් ඒ ක‍්‍රමවේදයන් හදලද තියෙන්නේ?

අපි ඒ ක‍්‍රමවේද ඔක්කොම හදලා තියෙන්නෙ.

 

ආයිත් ප‍්‍රමාද වෙන්නේ නැද්ද සංවර්ධන කටයුතු?

අපි අවුරුද්දක විතරක කාලයක් ඇත්තටම මූලික ප‍්‍රධාන ව්‍යාපෘති පටන් ගත්තතේ නැහැ. දැන් පටන් අරගෙන තියෙන්නේ. දැන් විශාල වශයෙන් ව්‍යාපෘති යනවා.

මං ඒ ගැන එකින් එක කියන්න කාලය ගන්නේ නැහැ. කවුරු හරි නෑ කියනවා මට කියන්න පුළුවන් මෙන්න මේ විදිහෙ කියලා. ඉදිකිරීම්, මාර්ග, විශාල ව්‍යාපෘති සංවර්ධන යෝජනා ක‍්‍රම. හැබැයි අපි ඒ සියලූ දේට කැබිනට් අනුමැතිය ගන්නවා. භාණ්ඩාගාර අනුමැතිය ගන්නවා. ටෙන්ඩර් කැඳවීම් කරනවා. අත්‍යාවශ්‍ය යම් කිසි ජාතික වැදගත්කමක් තියෙන ප‍්‍රමාද කළ නොහැකි දෙයක් තියෙනවා නම් එතනදි කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරලා තීන්දු ගන්නවා. ටෙන්ඩර් කැඳවීමකින් තොරව එය කරනවා නම් එය කළ යුත්තේ මොන ආකාරයටද කියලා. ඒ විදියට දැඩි මුල්‍ය විනයක් සහ මුල්‍ය කළමනාකරණයක් ඇතිවයි අපි කටයුතු කරන්නේ. ඒ තත්ත්වයට පත් වෙන ඒ කලසීමාවේදී තමයි මේ වැඩ කරන්නේ නෑ කියන චෝදනාව ආවේ.

 

ජනාධිපතිතුමනි, වැට් බද්දට මොකද වුණේ. පනතට මොකද වුණේ. දැන් මේ නිසාම ආණ්ඩුවට රුපියල් මිලියන 6000 ක විතර ආදායමක් අහිමි වුණයි කියලා ප‍්‍රකාශ වෙනවා. දැන් මේ ආදායම කොහොමද හොයා ගන්නේ?

වැට් බද්ද ගැන කියන කොටම එකපාරටම වැට් බද්ද ගැන නෙවෙයි, ඒකේ පසුබිම කියන්න ඕනේ. රජයක් වුණාම මුදල් අවශ්‍ය යි. අපේ රටේ බදු අය කිරීම් පිළිබඳව මහා විශාල ඉතිහාසයක් තියෙනවා. සිංහල රජ කාලේ රජවරු බදු අය කිරීම ගැන බොහෝම සුන්දර කතාවල් තියෙනවා. ඒවගේම ඉංග‍්‍රීසි ආණ්ඩු කාලේ බදු අයකිරීම් ගැන කිව්වම බලූ බද්ද පවා තිබුණා. ලෝකයේ සෑම රජයකටම රාජ්‍යයක් පවත්වාගෙන යාමය මොන විදිහේ පාලන ක‍්‍රම වුණත් ඒ රට කරන්න සල්ලි අවශ්‍ය යි. දැන් අපි කෝටි නව ලක්ෂයක විශාල ණය බරක ඉන්නවා. දැන් අපි රටේ ආර්ථිකය හසුරුවන්නේ කළමනාකරණය කර ගන්නේ කොහොමද? අපිට මුදල් අවශ්‍ය යි. මුදල් ගත යුත්තේ සාමාන්‍ය පොදු මහජනතාවට අඩු ආදායම් තිබෙන අයට රිදවලා නෙවෙයි. වැඩි ආයාදම් එන බදු අය කිරීමට සුදුසු අයගෙන් ඒ බදු අය කිරීම අවශ්‍ය වෙනවා. එතකොට අපි මේ ඉදිරිපත් කරපු යෝජනා වල යම් නීතිමය තත්ත්වයන් ඇති වුණා. අපි එය පිළිගන්නට ඕනෑ. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් දුන්නා. අපි ඒ තීන්දුව පිළිගන්නවා. ඒ ශේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අපි අපේ යෝජනාව නීත්‍යානුකූල නිවැරදිව සකස් කරලා ඉදිරයේදී ඉදිරිපත් කරනවා.

 

ආදායම අහිමිවීම ආණ්ඩුවට බලපෑමක් ඇතිවෙන එකක් නැද්ද?

අපි අලූතෙන් ගෙනෙන යෝජනාවලිය තුළ ආදායම් අහිමිවීමට විසඳුම් සොයා ගැනීම අවශ්‍ය වෙනවා. ඉදිරියේදී එන යෝජනාව තුළ ආදායම් ලබාගැනීමේ ක‍්‍රමයත් එක්කයි ඒ යෝජනාව ගේන්නේ. ඒත් එක්කම කියන්නට ඕනෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරිය සමග මම කතා කළා. ඒවගේම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා කතා කලා. ඒ එක්කම විවේචන තිබෙනවානේ. නගරවල කඩ වහලා සේවකයොත් එක්ක එළියට බැස්සා. උද්ඝෝෂණයක් ආවා. නමුත් අපේ ඉතිහාසයේ පළවෙනි වතාවටයි ව්‍යාපාරිකයන් කඩවල් වහලා පාරට බැස්සේ. ඒ කඩවල් වල වැඩ කරන සේවකයිනුත් එක්ක තමයි පාරට බැස්සේ. මේ ගැන විවිධ මහජන අදහසුත් ආවා. ඒ නිසා මේ සියලූ දේවල් සැලකිල්ලට අරගෙන ඉදිරිපත් වන චෝදනා සහ විවේචන පිලිබඳවත් සැලකිල්ල යොමු කරලා නිවැරදිව ප‍්‍රශ්න මතු නොවන ආකාරයේ වැඩපිළිවෙළකින් මේ යෝජනා ඉදිරියේදී ගේන්න කටයුතු කරනවා.

 

ජනාධිපතිතුමනි, මේ යෝජනාව ඇමති මණ්ඩලෙන් ආ විට ඔබ කීවා අපි මේ පිලිබඳව පසුවට සාකච්ඡා කර තීරණයක් ගමු කියලා. මොකද්ද ඔබගේ ස්ථාවරය අලූතෙන් ගේන සංශෝධනය සම්බන්ධව?

අපිට මෙහි මූලික පදනමෙන් වෙනස් වෙන්න පුළුවන්කමක් නැහැ. බදු අවශ්‍යයි. රටට ආදායම් අවශ්‍යයි. ආදායම් ලබන අයගෙන් රජයට කොටසක් ගැනීම ලෝකයේ අනිවාර්යය දෙයක්. ලෝකයේ හැම තැනම එහෙමයි. හැම ආණ්ඩුවක්ම එහෙමයි. මෙතනදී අපි සැලකිල්ලට ගන්න ඕනෑ විරෝධය ආ කාරණා මොනවාද යන්න පිලිබඳව.

සුළු ව්‍යාපාරිකයින් ඉදිරිපත් කළ කාරණය වන්නේ මේ බදු ක‍්‍රමය තමන්ට හුරු නැහැ. පොත් පත් හදාගන්න අමාරුවක් තියෙනවා. ගණනය කිරිම්, විගණන කටයුතු මේ පිළිබදව අපිට අවබෝධයක් නැහැ ඒ නිසා එයාලට මේක ප‍්‍රශ්නයක් කියලා. ඒ නිසා අපේ සාකච්ඡාව වලදි මම යෝජනා කළා අපි යම් කිසි කාලසීමාවක් ඇතුළත එයාලාටත් මේ පිලිබඳව යම් අවබෝධයක් දෙන වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ කියන එක ගැන. යම් කිසි තැනකින් යම් මුදලක් රජයට ලබාගන්න අවශ්‍යයි නම් ආදායම් ලබන කෙනෙකුගෙන් ඒ මුදල ගන්න ඕන ඒ පුද්ගලයාගේ ව්‍යාපාර වලට දැඩි බලපෑමක් ඇති නොවන ලෙසටයි.

මේ කාරණා නුපුරුදු පිරිසක් ඉන්නවා නම් සුළු මට්ටමේ ව්‍යාපාරිකයෝ එයාලට මේ බදු ක‍්‍රමය හඳුන්වා දී පැහැදිලි කර ඔවුනට මෙය කරදරයක් නොවන විදියට අපිට පුළුවන් රජය විදියට සෑම ප‍්‍රදේශයකම මේ පිලිබඳ වැඩසටහනක් හදන්න. දිසා ලේකම්වරු නැත්නම් මුදල් අමාත්‍යාංශය හරහා මේ ගැන අවබෝධයක් දීලා කොහොමද මෙයට එකතුවෙන්නේ කියලා. ඒ එකතුවීම ඒ විදියට කරන්න පුළුවන්. එහිදී ප‍්‍රධාන වශයෙන්ම රජයේ වගකීම වෙන්නේ රජයට ආදායම් අවශ්‍යයි ඒ වගේම ආදායම් ලබන අයට අනවශ්‍ය රිදවීම් කිරීම අනවශ්‍යයි. සාමාන්‍යයෙන් පොදු මහජනතාවට අඩු ආදායම් ලබන අයගේ ජිවන වියදමට වැඩි බලපෑමක් ඇති නොවන ආකාරයට විය යුතුයි. මේ වගේ අංශ ගණනාවක් හිතලා මේ පිලිබඳව වැඩපිළිවෙළක් යෙදීමයි බලාපොරොත්තු වන්නේ.

 

පාර්ලිමේන්තුවේ බොහොම අමාරුවෙන් සම්මත කර ගත් අතුරුදහන්වූවන් පිලිබඳ කාර්යාලයක් පිහිටුවීමේ පනත. මොකද්ද මේ? තවත් රට කඩන වැඩක්ද? චෝදනාවක් තියෙනවා මේකෙන් රණවිරු දඩයමක් වෙනවා කියලා.

අතුරුදහන්වූවන් පිලිබඳ කාර්යාලයක් පිහිටුවීමේ පනතට විරෝධයක් දක්වපු අය ගත්විට මම කල්පනා කරන්නේ ඒ අය මේ රටේ ජාතික දේශපාලනයේ කොතැනද ඉන්නේ කියන එක ගැනයි. සෑම ප‍්‍රශ්නයකම මුල, මැද, අග තිබෙනවා. අතුරුදහන්වූවන් පිලිබඳ කාර්යාලයක් පිහිටුවීමේ පනත පිලිබඳව නෙවෙයි අපි ගන්න ඕනෑ. මේකේ මුල කොතැනද. මේකේ මුල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හරහා අපිට ඉදිරිපත් කරන ලද යෝජනා. මේ යෝජනා ආපු කාරණාව අපි දන්නවා. මේ යෝජනා වලට මුහුණ දීමට පැහැදිලිවම නොහැකියාව නිසා තමයි හිටපු ජනාධිපතිතුමා තව වසර දෙකක් බලයේ සිටීමට හැකියාව තිබියදීත් ඡන්යක් තිබ්බේ.

මේ කෝටි නව ලක්ෂයක ණය බරයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හරහා අපිට ඉදිරිපත් කරන ලද යෝජනායි මේ දෙක තමයි බරපතලම ප‍්‍රශ්නය 2015 ආණ්ඩුවක් විදියට මුහුණ දෙන. ඒ නිසයි මැතිවරණයකට ගියේ. එහෙම නැතුව සාස්තරකාරයෝ කියපු විදියට වත් අංජනම් බලලවත් නෙවෙයි. මම ඒ ආණ්ඩුවේ ප‍්‍රධානියෙක්නේ. ඒ කාලේ ඒ ආණ්ඩුව තුළ අපට 2013 -2014 වනවිට පෙනුනා 2015 -2016 වනවිට බරපතල ආර්ථික අර්බුදයක් එන බව. මේ කෝටි නව ලක්ෂයක ණය එදා දැක්කා.

එදා මුදල් අමාත්‍යාංශයේ් ප‍්‍රධානීන් මාත් එක්කම පුද්ගලිකව ඔය කාරණාව කිව්වා 2014 දී. මේ ඉස්සරහට තියන්න තියෙන මැතිවරණෙන් පස්සෙ නම් ඇමතිතුමා අපි නම් මේ තනතුරු වල ඉන්නේ නැහැ කිව්වා. මොකද අපිට බැහැ කිව්වා මෙතනින් ඉදිරියට යන්න. ඒ ආර්ථිකය පැත්ත. 2015 ඡන්දෙ තිබුණෙ නැත්නම් අදත් මේ රටේ ජනාධිපති හිටපු ජනාධිපතිතුමානේ. මේ ලබන නොවැම්බර් වෙනකම්. වසර දෙකක් තව බලයේ ඉන්න තියෙද්දී ඡන්දෙකට ගියේ පැහැදිලිවම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හරහා අපිට ඉදිරිපත් කරන ලද යෝජනා වලට මුහුණ දීමට තිබෙන නොහැකියාව සහ අතිවිශාල ආර්ථික අර්බුදය නිසා.

අපි බලයට පත් වූ පසු ගිය වසරේ අපි ලෝකයට කිව්වා අපේ මැතිවරණ ප‍්‍රකාශනය සමග අපි අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා. අපි මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරනවා. අධිකරණය ස්වාධීන කරනවා. අපක්ෂපාතී කරනවා. මේ රටේ අධිකරණය පිරිහිලා තිබුණු හැටි දන්න අය දන්නවා. මටම පුදුමයි. මම ජනාධිපති ධූරයට පත්වෙලා 2015 ජනවාරි 9 දිව්රුම් දීලා ඊට පහුවදා එවකට මේ රටේ අධිකරණ ක්ෂේත‍්‍රයේ හිටපු ඉහළම ප‍්‍රධානියා මාව මුණගැහිලා මට කියපු දේවල් මට හරිම පුදුමයි. මම කල්පනා කළා මේ කතා කරන්නේ අධිකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානියෙක් ද කියලා. ඒ කතා කරපු දේවල් අද කියන්නේ නැහැ. අනාගතයේ දවසක කියන්නම්.

අපේ රට දෙස මුළු ලෝකයම බැලූවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති නිදහස නැති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18 වෙනි සංශෝධනයත් එක්ක මහා ආඥාදායක ගමනක් යන රටක් විදියට යුද්ධය අවසාන කාලයේ මානව හිමිකම් කඩවුණා යැයි කියන චෝදනාත් එක්ක මහා බරපතල තත්ත්වයක් තිබුණා. ඒ බරපතල තත්ත්වයේදී තමයි කෑගහන්න පටන් ගත්තේ ජාත්‍යන්තර යුද අධිකරණය විදුලි පුටුව මේවා මහා බරපතල ප‍්‍රශ්න විදියට වේදිකා දෙදරවමින්.

නමුත් අලූත් ආණ්ඩුව බලයට පත්වෙලා අපි මැතිවරණ ප‍්‍රකාශනයේ දුන්න කරුණුත් ජාත්‍යන්තරයට ඉදිරිපත් කළ කරුණූ තුළත් ජාත්‍යන්තරය අපි දිහා යම් සුබවාදී ආකල්පයකින් බැලූවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අපි පාර්ලිමේන්තුවේ පාස් කෙරුවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට තුනෙන් දෙකක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ අපි 19 වන ව්‍යවස්ථා සංශෝධන සම්මත කෙරුවා. 19 වන සංශෝධනයත් එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදලා ලෝකයේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් සියල්ල අපි දෙස සුබවාදීව බලන්න ගත්තා. අධිකරණයේ අපක්ෂපාතිත්වය සඳහා මේ රටේ උගතෙක්, බුද්ධිමතෙක් අපි එතැනට පත් කෙරුවා. ඒ වගේ තැන් අපි නිවැරදි කළා. නිවැරදි කරමින් යනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ මාර්තු මාසයේ පැවති රජය යටතේ එන්න තිබුණු එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාවේ යෝජනා බොහෝ ළිහිල් වුණා.

පසුගිය ජනාධිපතිවරණයේදී මම ජයග‍්‍රහණය නොකළානම් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනාවල තිබුණ කරුණු මීට වඩා වෙනස් වෙනවා. අපි දන්නවා අපේ ආණ්ඩුව එනකොටත් සම්බාධක පැනවීමක් සිදු වෙලා තිබුණේ. අපේ මත්ස්‍ය අපනයන සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ තහනමක් තිබුණා. ඇඟළුම් කර්මාන්තය පිලිබඳ බදු සහන අහෝසි වෙලා තිබුණා. මේ විදියට සම්බාධක පටන් අරගෙන තිබුණේ. දැන් ටික දවසකට කළින් යුරෝපා සංගමය එම මත්ස්‍ය අපනයන තහනම ඉවත් කළා. දැන් අපිට ඒ අයගේ ඉල්ලූමට දෙන්න මාළු නැහැ. මේ කරුණුවලදි අපි බොහොම පැහැදිළිව දැක්ක දෙයක් තමයි අපේ අලූත් පාලනය තුළ හිටපු පාලනයට එන්න තිබුණ යෝජනා නෙවේ ආවේ. බොහොම ළිහිල් වුණා. ඒ විතරක් නෙවේ ගිය අවුරුද්දේ මාර්තු මාසයේ එන්න තිබුණු යෝජනා පිලිබඳ අපි ඉල්ලීමක් කළා අපිට අලූත් ආණ්ඩුව විදියට වැඩ කරන්න කල් දෙන්න කියලා.

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, මානව හිමිකම්, මුලික අයිතිවාසිකම් ශක්තිමත් කිරීමේ පදනම දාන්න ඉඩ දෙන්න. එක්සත් ජාතින්ගේ සංවිධානය අපේ ඉල්ලීම් ඉෂ්ට කළා. පසුගිය මාර්තු මාසයේ ගේන්න තිබුණු යෝජනා අපි කිව්වා සැප්තැම්බර් මාසයට කල් දාලා දෙන්න කියලා. ඒ විදියට සැප්තැම්බර්වල එනකොට අර කියපු ජාත්‍යන්තර යුධ අධිකරණයත් නැහැ, විදුලි පුටුත් නැහැ, සම්බාධකත් නැහැ. අපි බලයට පත්වුණේ නැත්නම් ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජයිකා මේ පැත්ත පළාතේ එන්නේ නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය.

අපි ගිය 11 වෙනිදා පාර්ලිමේන්තුවට අතුරුදහන් වූ තැනැත්තන්ගේ කාර්යලය පිලිබඳ පනත, යෝජනාව ඉදිරිපත් කළා. ඒ යෝජනාව ඉදිරිපත් කළේ මමයි, ඇගමැතිතුමයි අපි ප‍්‍රධාන පක්ෂ දෙක සාකච්ඡුා කරලා තවත් අපි ඒකේ බොහෝ සංශෝධන කරලා. ඒ සංශෝධන කරලා තමයි අපි මේක සම්මත කෙරුවේ.

එතකොට ආපු විවේචන මම දැක්කා. ඊයේ පාර්ලිමේන්තුව ඉස්සරහා කට්ටියක් බිම ඉදගෙන කෑ ගහ ගහ ඉන්නවා. ඒකයි මම කිව්වේ මේ ප‍්‍රශ්නයක මුල, මැද, අග තේරුම්ගන්න ඕන. මේ කෑ ගහන අය මුලත් නැහැ, මැදත් නැහැ, අගත් නැහැ. ඔය කෑ ගහන ඕනෑම කෙනෙකුට මම ආරාධනා කරනවා මාත් එක්ක සාකච්ඡාවකට එන්න මේ පනතේ කටයුතු සම්බන්ධයෙන්.

විශේෂයෙන්ම මේ රටේ සිංහල බෞද්ධ ජනතාව ආවේගශීලී කරන්න එපා. නොමඟ යවන්න එපා. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මේ පනත් පිළිබද වැරදි අවබෝධයක් දෙන්න එපා. මම බොහොම පැහැදිළිව කියනවා අපි සියලූ දෙනාම මේ රටට ආදරෙයි.

මේක ඊට පෙර පැවති රජය තියෙන කාලෙත් මේ හා සමාන කාර්යාලයක් පිහිටු විය යුතුයි කියන යෝජනාව ආවා. ඒකෙ පනත් කෙටුම්පතුත් ආවා. හැබැයි ඒවා ක‍්‍රියාත්මක වුණේ නැහැ. වරින් වර වරින් වර ඒවට යම් යම් ප‍්‍රශ්න ආව නිසා. හැබැයි මෙතනදි ප‍්‍රශ්නය තියෙන්නේ යම් ප‍්‍රශ්නයක් නිරවුල් කර ගන්න ඕනෑ. ඒ නිරවුල් කර ගැනීම සඳහා තමයි ඕනෑ. අනිත් එක මේකේ සීමාවක් නැහැ. ඕනනම් මේක 88, 89 වකවානුවෙ තිබුණ තත්ත්වය නෙවෙයි. ඉන් එහාට වුණත් ගිහිල්ලා කටයුතු කරන්න පුළුවන්. හැබැයි මෙයට අධිකරණමය බලයක් නැහැ. අනිත් එක මේකයි මේ පනත යටතේ මේ ඔක්කොම පෙන්නන්න හදන්නේ මේකට විරුද්ධව කතා කරන පිරිසක් මේක රණවිරු දඩයමකට තමයි මේ ලෑස්ති වෙන්නේ කියලා. අපි බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ. දැන් පසුගිය කාලේ ගත්තහම මේ රටේ අතුරුදන්වීම් රාශියක් තියෙනවා.

දැන් අපේ යුද, නාවික, ගුවන්, පොලීසියේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොච්චර අතුරුදන් වුණාද. එතකොට එල්.ටී.ටී.ඊ.ය විසින් මැරුවා හෝ හැංගුවා හෝ ගෙනිච්චා හෝ අතුරුදන් වුණා. මේ පනත යටතේ ඒ සියලූ දෙනා සෙවීම පිළිබඳවත් බලය පැවරෙනවා. අපේ ත‍්‍රිවිධ හමුදාවල 5000 කට වැඩියි අතුරුදන් වෙච්ච අය. මේ පනත එල්.ටී.ටී.ඊ එකෙන් අතුරුදන් වෙච්ච අය නැත්නම් එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධව නැතිව ඉඳලා උතුරේ සාමාන්‍ය ජනතාවගෙන් අතුරුදන් වෙච්ච අය ගැන විතරක් සොයන එකක් නෙවෙයි. මේ පිළිබඳව අගමැතිතුමා ජනතා විමුක්ති පෙරමුණ එක්ක කරපු සාකච්ඡුාව අනුව. 88, 89 කාලයේ අතුරුදන් වුණු අය පිළිබඳවත් සොයන්න මේ පනතින් පුළුවන්කම තියෙනවා.

ඒත් එක්කම පසුගිය කාලය තුළ මේ රටේ අතුරුදන්වීම් පිළිබඳ වාර්තා ගණනාවක් තිබෙනවා. ඔය යුද්දෙටවත් ආරක්ෂාවටවත් සම්බන්ධ නොවන පුද්ගලයිනුත් අතුරුදන්වීම් පිළිබඳ වාර්තා වුණා. සුදු වෑන් සංස්කෘතියත් එක්ක මාධ්‍යවේදියෝ සාමාන්‍ය පුද්ගලයෝ විශාල වශයෙන් අතුරුදන් වුණා. ඔය සෑම කෙනෙක්ම පිළිබඳව මේ කාර්යාලයට කටයුතු කරන්න පුළුවන්. මේ කියන විදිහේ රණවිරු දඩයමක් මෙතන සිදු නොවන බව මම බොහොම පැහැදිලිව බොහොම වගකීමෙන් කියනවා. මේ ගැන විරෝධතා පළ කරන අය කරුණාකරලා අපිත් එක්ක සාකච්ඡුාවකට එන්න. අපි කරුණු පැහැදිලි කරන්නම්. මම ඒකයි කිව්වේ. මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හරහා එන යෝජනාවලට මුහුණ දෙන්න බැරිවයි මේ ඡුන්දෙකට ගියේ කියලා. දැන් මේකට අපි ආණ්ඩුවක් විදියට මුහුණ දෙනවා.

 

මේවට මුහුණ දෙන්න විකල්ප වැඩපිළිවෙළක් කියන්න කියලා ඔවුන්ට අභියෝග කරන්න ඔබතුමාට පුළුවන්නේ?

විකල්ප වැඩපිළිවෙළක් දෙන එක ඒ අයගේ වගකීමක් සහ යුතුකමක්නේ. මේ නිකන් බොරුවට කෑ ගහන එක තේරුමක් ඇති දෙයක් නෙවෙයි. කතානායකකතුමා පාර්ලිමේන්තුවෙදි කියලා තිබුණා වැසිකිලියේ කරන වැඬේ කෑම මෙසේ කරන්න එපා කියලා. දැන් ඒකනේ මේ කරන්නේ. මේ කෑගහන අයගෙන් සමහර අය මාර්ක්ස්වාදය පිළිබඳව මහා න්‍යායාචාර්යවරු. මමත් මාර්ක්ස්වාදය පිළිබඳව පොඞ්ඩක් දන්නවා. ඉතින් ඔය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සහ මාර්ක්ස්වාදය ගත්තහම බොහෝම පැහැදිලිව සමාජය තුළ අයිතිවාසිකම් තහවුරු කරන න්‍යායන් ඒවා.

මේ විරෝධය පළ කරන අය කතා කරන්නේ කාටද මේ විරෝධය පළ කරන අය කතා කරන්නේ මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට. පැහැදිලිවම එතනට තමයි කතා කරන්නේ. ඡන්ද වලට මේ කතා කරන්නේ. හැබැයි මම කියන්න ඕන මම ඡන්ද බලාගෙන කතා කරන ජනාධිපතිවරයෙක් නොවෙයි. මේ ප‍්‍රශ්නය සැබෑ ලෙසම තේරුම් අරගෙන මේ ප‍්‍රශ්න විසඳීම සඳහා වැඩපිළිවෙළක් ගෙනයන්නේ. මේ රටේ යුද්ධය පැවති කාලය ගත්තහම අවුරුදු 30 ක් විතර. ගෙවී ගිය ආණ්ඩු වැඩ කෙරුවේ පළාත් 07 ක් එක්ක. පළාත් 02 ක් අත් හැරලා තිබුණේ. දැන් අද අපි පළාත් 9 එක්කම ආණ්ඩු කරනවා. ඒ නිසා මේ පළාත් 07 ක තියන ඡන්ද වලට කතා කිරීමේ තිබෙන තත්ත්වයට වැඩිය දේශපාලන ගුණාත්මකභාවයකින් කටයුතු කරන්න ඕන.

රට ගැන හිතලා රටේ ප‍්‍රශ්න ගැන හිතලා කටයුතු කරන්න ඕන. මම හැමවෙලේම කියන දෙයක් මේ රටේ විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව වැඩිපුර ජීවත් වන පළාත් හතේ ඒ ජනතාවට නිදහසේ සතුටින් ජීවත් වන්න උතුරු නැගෙනහිර පළාත් දෙකේ ජනතාවගේ ප‍්‍රශ්න පිලිබඳ සැබෑ අවබෝධයකින් කටයුතු කරන්න ඕනෑ.

පළාත් 9 ම ජනතාවට සමාජ සාධාරණත්වය ඉෂ්ට වෙන්න ඕනෑ. පළාත් 9 ම ජනතාවට නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අයිතිය තියෙන්න ඕනෑ. පළාත් 9 ට ම සාධාරණ සමබර සංවර්ධනයක් තියෙන්න ඕනෑ.

 

ජනාධිපතිතුමනි, දැන් හැම සතියෙම මොකක් හරි අලූත් මාතෘකාවක් එනවා. මම අහගෙන හිටියා ආණ්ඩුවෙම මන්ත‍්‍රීවරයෙක් කියනවා මේ ජන හතුරු දේශපාලකයෝ තමයි මේ අලූත්ම ශබ්ද කෝෂයට අලූත්ම වචනෙකුත් එකතු කළා. ජන හතුරු දේශපාලකයෝ තමයි මේ දේ කරන්නේ කියලා. හනුමන් පාලමක් ගැන කතා කරනවා. ඔබ ඒක ප‍්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒවගේම රණවිරුවන් රිමාන්ඞ් භාරයට පත් කරලා මේ අය කිසිම චෝදනාවක් නැතිව තියාගෙන ඉන්නවා. මේ දඩයමක් කරන්නේ. මේ කාරණා දෙක මුලින්ම ගත්තොත් මේ හනුමන් පාලමත් මේ රණවිරුවන් චෝදනා නැතිව රිමාන්ඞ් භාරයේ තබා ගැනීමත්.

ඔය හනුමන් පාලම කියන එක අපි පොඩි කාලෙත් අහලා තියෙනවා ඔහොම පාලමක් ගැන යම් යම් සාකච්ඡා හඬවල් ඒ කාලෙත් ආවා. නමුත් මේ මෑත භාගය වෙන කොට මේ තලෙයිමන්නාරමට ඉන්දියාව යා කරන පාලමක් පිළිබඳව කතාව උඩට ආව මූලික කාරණාව තමයි දකුණු ඉන්දියාවේ මැතිවරණය වෙලාවේ දකුණු ඉන්දියවේ ඡන්දේ ඉල්ලපු අපේක්ෂකයෝ දේශපාලන පක්ෂවල නායකයෝ ඡන්ද ගන්න මැතිවරණ වේදිකාවේ කිව්වා පාලමක් දාලා ලංකාව ඉන්දියාවට සම්බන්ධ කරනවා කියලා කිව්වා.

ඒ විතරක් නෙවෙයි ඉන්දීය ලෝක් සභාවේ දකුණු ඉන්දියාව නියෝජනය කරන සමහර මන්ත‍්‍රිවරු කිව්වා දැන් ලංකාවත් එක්ක ඉන්දියාව සම්බන්ධ කරන්න මේ විදිහේ පාලමක් හැදීමේ කටයුතු ඉක්මන් කරන්න ඕනැයි කියලා. ඒ කිව්වේ ඔය මැතිවරණ කාලේ. සමහර අය මම දැක්කා කියලා තියෙනවා ජාත්‍යන්තර මුල්‍ය ආයතනයකින් සල්ලිත් අරගෙන ණයකුත් අරගෙන දැන් මේ හෙට අනිද්දා වැඩ පටන් ගන්නවා කියලා. නමුත් මම බොහෝම පැහැදිලිව කියන්න ඕන එහෙම දෙයක් නැහැ. මම ජනාධිපති ධූරයට පත්වෙලා මේ අවුරුද්දයි මාස 08 ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා මට පස් සැරයක් නැත්නම් හය සැරයක් හම්බ වෙලා තිබෙනවා. ජාත්‍යන්තර සමුළු වලදි, ඉන්දියාවට ගියාම. එතුමා මෙහේ ආපු අවස්ථාවේ. ඒ කිසිම දවසක ඔය පාලමක් ගැන වචනයක් කතා කරලා නැහැ. කිසිම සාකච්ඡාවක් නැහැ. කිසිම කඩදායික අකුරක් නැහැ. මේක සම්පූර්ණ අසත්‍යයක්. මේ වරින් වර මහජනයා නොමග යවන්න කරන දේවල්. අනිත් පැත්තෙන් ගත්තහම ඔබ ඔය කියපු රණවිරු දඩයම කතාව.

මාධ්‍යවේදී එක්නැලිගොඩ මහත්මයාගේ අතුරුදහන්වීමත් අතුරුදහන්වීමක්නේ. දැන් මම අහනවා මාධ්‍යවේදී එක්නැලිගොඩ මහත්මයා අතුරුදන්වීම ගැන මේ අතුරුදන්වීමේ කාර්යාලය හරහා කරන පරීක්ෂණ වලට කවුරු හරි විරුද්ධද කියලා. මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය. මේ සිද්ධීන් ගත්තහම මේවා ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් විවේචන ආවා මේ අතුරුදන්වීම් සහ මරණ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න කියලා. පසුගිය ආණ්ඩුවට දැඩි බලපෑම් ආවා. මේ රටේ ජාතික වශයෙනුත් රට ඇතුළේ ජනතාවත් කෑ ගැහුවා. උද්ඝෝෂණය කළා. සත්‍යග‍්‍රහ කළා. උපවාස කළා. මේ වගේ මට ලැයිස්තුවක් කියන්න පුළුවන්. මේ මැරිච්ච අය අතුරුදන් වෙච්ච අය කෝ කියලා.

එතකොට රටේ තිබුණු ආණ්ඩුවෙන් මේවට විසඳුමක් නැති වුණාම ඒ පිරිස් ජාත්‍යන්තරයට ගියා. ජිනීවා ගියා. ගිහිල්ලා කිව්වා අපේ මේ අය අතුරුදහන්. වෙච්ච දෙයක් නැහැ කියලා. ඒවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සභාව හරහා ආපු යෝජනාවලට හේතු කාරණා වුණා. හේතු සිය ගාණක් අතරේ ඒවගේ දේවලූත් එකක්. ඒ තුළ අපි බලයට එන්න කලින් මැතිවරණ ප‍්‍රකාශනයෙනුත් අපි මහජනයට පොරොන්දුවක් දුන්නා අපි බලයට ආපුවහම මේ දූෂණ, වංචා විතරක් නෙවෙයි. මේ අතුරුදහන් වීම් පිළිබඳව මේ මිනීමැරුම් පිළිබඳව අපි අපක්ෂපාතී පරීක්ෂණ පවත්වනවා කියලා.

එතකොට අපි බලයට ඇවිල්ලා මේ පරික්ෂණ පටන් ගත්තා. ඒ ආයනවලට ඒ අතුරුදහන්වුණ අයගේ, මැරුණ අයගේ පවුල්වල අය භාරකාරයෝ පැමිණිලි භාරදුන්නා. ඕවා හැම එකකටම කළින් පරික්ෂණ තිබුණා. පරික්ෂණ තිබුණට ඒවා ඔක්කොම මඟ නැවතිලා තිබුණේ. එතකොට අපි නව රජය විදියට ඒ අදාළ ආයතනවලට රහස් පොලිසියට, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ආයතනවලට අපි කිව්වා දැන් මේ පරික්ෂණ පටන් ගන්න. මේ පරික්ෂණ කරගෙන යනකොට මේවට යම් යම් අය සැකපිට ප‍්‍රශ්න කරන්න අත්අඩංගුවට ගන්නවා.

ආණ්ඩුවේ බලපෑමක් නෙවෙයි. අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව ස්වාධීන කොමිසන් සභාවක්. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ස්වාධීනව වැඩ කරන්න දෙන්න ඕන. පොලිස් දෙපාර්තමේන්තුවට ස්වාධීනව වැඩ කරන්න දෙන්න ඕන. 19 වන සංශෝධනයෙන් කොමිසන් සභා හැදුවනම් ස්වාධීනනව වැඩ කරන්න දෙන්න ඕන. ඉස්සර ජනාධිපතිවරයා 18 වන සංශෝධනය පාස් කරගෙන අගවිනිසුරුවරයාගේ සිට සියලූ විනිසුරුවරුන් පත් කෙරුවා. සියලූ කොමිෂන් සභා පත් කෙරුවා. නීතිපති පත් කෙරුවා. පොලිස්පති පත් කෙරුවා. ඔක්කොම පත් කරලා දුරකථන ඇමතුමක් දීලා කියනවා මේක මෙහෙම කරන්න, මේ නඩුවේ තීන්දුව මෙහෙම දෙන්න කියලා. දැන් එහෙම නැහැ. පැහැදිළිවම නැහැ.

එතකොට මේ සිදුවුණු අතුරුදහන්වීම් සහ මරණ පිලිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ පරික්ෂණ පවත්වනකොට හමුදාවේ කිහිප කෙනෙක් පිලිබඳවත් ඒ තොරතුරු ඇවිල්ලා පරික්ෂණ පවත්වනවා. නැතුව රණවිරු දඩයමක්ද මේක. මේ රටේ යුද, නාවික, ගුවන්, පොලිස් මේ ආයතනවල ලක්ෂ 10 කට අධික පිරිසක් ඉන්නවා.

එතකොට යම් පරික්ෂණයක් කරනකොට රජයේ නිලධාරියෙක් ද, ව්‍යාපාරිකයෙක් ද, හමුදාවේ ද, පොලීසියේ ද එහෙම වෙන්න බැහැ. එහෙම වරප‍්‍රසාද ලත් පන්තියක් නැහැ. යම්කිසි අපරාධයක් පිලිබඳව, යම් බරපතල කාරණයක් පිලිබඳව මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිය යටතේ කටයුතු කරනකොට යම් ආයතනයක් ස්වාධීනව ඒ කටයුතු කරගෙන යනවා.

අනෙක් කාරණය තමයි යම් කිසි කෙනෙක් හමුදාවේ වුණත් මේවගේ පරික්ෂණවලින් ඔප්පු වුණොත් වැරදිකරුවෙක් ලෙස මුළු හමුදාවම ඒ චෝදනාවෙන් නිදහස් වෙනවනේ. ඒක හමුදාවේ කීර්තියට කාරණයක්. හමුදාවේ කෙනෙක් හමුදාවේ නීති රීතිවලට පටහැනිව, රටේ තිබෙන නීතිවලට පටහැනිව වැඩ කළා නම් ඒ කෙනා එතනින් අයින් වුණහම සම්පූර්ණයෙන් හමුදාව පිරිසිදු වෙනවා. හමුදාවේ ගෞරවය ආරක්ෂා වෙනවා.

 

දැන් මේ භික්ෂුන් වහන්සේලා අත්අඩංගුවට ගන්නවා කියන චෝදනාව ආණ්ඩුවට එල්ල වෙන්නේ ඇයි?

සිල්වත්ව, ගුණවත්ව විහාරස්ථානවල ධර්ම දේශනා කරමින් සිටියදී කිසිම භික්ෂුන් වහන්සේ නමක් අත්අඩංගුවට අරගෙන නැහැනේ. දානෙකට වඩිනකොට අත්අඩංගුවට අරගෙන නැහැ. පිරිත් කියනකොට අත්අඩංගුවට අරගෙන නැහැ. එහෙම දෙයක් වෙලා නැහැ. එතකොට මේ මොකක්ද, යම් යම් සිදුවීම් පිලිබඳ පරික්ෂණ පවත්වාගෙන යනකොට භික්ෂුන් වහන්සේලාත් සැකපිට හසු වෙනවා. එතකොට ඒ ගැන පරික්ෂණ කරනවා. එතනදි භික්ෂුන් වහන්සේ ද, කතෝලික පූජකතුමා ද එහෙම වෙන්න බැහැනේ. රටේ නීතිය කාටත් එකයි.

මම දැක්කා පාර්ලිමේන්තුවේ කවුද ප‍්‍රශ්නයක් අහලා තියෙනවා 2015 වසරේ මේ ආණ්ඩුව භික්ෂුන් වහන්සේලා කොතෙක් අත්අඩංගුවට ගත්තද කියලා. මට මතකයි දීපු උත්තරේට 81 ක් ද කොහෙද කියලා තිබුණා. ඉතින් ඒ 81 න් භාගයක්ම අත්අඩංගුවට ගත්තේ උසාවියක ගිහින් කෑ ගහලනේ. සාමාන්‍යයෙන් අධිකරණ සංකීර්ණයක් තුළ කෙනෙක් හැසිරෙන්න ඕන කොහොම ද කියලා ඕනම කෙනෙක් දන්නවා.

මට මතකයි පහුගිය දවස්වල පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියකට විනිශ්චයකාරතුමා අවවාද කරලා තිබුණා පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි දැනගන්න කියලා. එතකොට අධිකරණය කාටත් එක සමානයි. එතන වූ සිද්ධියක් පිලිබඳව හැසුරුණු ආකාරය පිලිබඳව ස්වාමින් වහන්සේලා පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඒ අපි කියලා නෙවේ.

 

දැන් ආණ්ඩුව රජයේ ආයතන පෞද්ගලීකරනය කරන්න සූදානමක් තියෙනවද, ලිට්රෝ ගෑස්, වරාය, ලංකා හොස්පිට්ල් ගැන කියවෙනවා මේ ආයතන පුද්ගලීකරණය කරනවාද?

මෙහෙමයි දැන් පුද්ගලීකරණය කියන ප‍්‍රශ්නයේදී අපි බලන්න ඕන, අපි පවත්වාගෙන යන රජයේ ආයතන රාශියක් තිබෙනවා දැන් අවුරුදු 15 – 20 ක ඉදලා සේවකයින්ට වැටුප් ගෙවනවා විතරයි ඒ ආයතනවල වැඩ කෙරෙන්නේ නැහැ. සමහර ආයතනවල සේවකයෝ වැඩට එන්නෙත් නැහැ. මාසේ පඩි ගන්න ඇවිල්ලා යනවා. එහෙම ආයතන ගණනාවක් තිබෙනවා. එවැනි ආයතන සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය පසුගිය දිනවල සාකච්ඡා කළා. ඒ පිලිබඳ පැහැදිළි තීන්දුවක් ගන්නවා. මොකද රජයට විශාල බරක් ඒක. පෞද්ගලික අංශයේ කෙනෙක් ඉන්නවානම් එහෙම ආයතන දුන්නට කිසිම වැරැද්දක් නැහැ.

නමුත් ලාභ ලබන ආයතන මම දැක්කා පහුගිය දිනවල පත්තරේක තිබෙනවා ලංකා හොස්පිට්ල්, ලිට්රෝ ගෑස් මේ වගේ ආයතන පිලිබඳ. මම පැහැදිළිවම කියන්න ඕන මේවා ඉහළම ලාභ ලබන ආයතන.

මම දන්නේ නැහැ පත්තරේට කවුද ඔය ලැයිස්තුව දුන්නේ කියලා ලංකා හොස්පිට්ල්, ලිට්රෝ ගෑස් ඒ වගේ රජයට හොඳ ආදායමක් දෙන ආයතන කිසිසේත් පෞද්ගලීකරණය කිරීමට අවශ්‍ය නැහැ.

 

දැන් මේ ව්‍යවස්ථා මර උගුලක් ගැන කතා කරනවා. ආයේමත් රට කඩන්න හදන ව්‍යවස්ථාවක් තමයි මේ ආණ්ඩුව ගේන්න හදන්නේ දැන් මේ කියන කාරණය ගැන මොකක්ද ඔබ කියන්නේ?

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් රජය මහජන විමසීමේ කමිටුවක් පත් කළා. ඒ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපතිවරයා විදියට හිටියේ ලාල් විජේනායක මහත්තයා. ඒ අයට කාලයක් දීලා තිබුණා රටේ සෑම ප‍්‍රදේශයකම මහජනතාව, විද්වතුන් සමාජයේ සෑම ස්ථරයකම ඉන්න අය හමු වෙලා අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හැදීම පිලිබඳ ඒ අයගේ අදහස් ගන්න කියලා. කමිටුව ඒ වැඬේ කළා. ඒ මහජන අදහස් විමසීමේ කමිටුව තමයි මේ වාර්තාව සකස් කළේ. එතකොට ඒක ප‍්‍රසිද්ධියට පත් කළා. මේක පාර්ලිමේන්තුවේ සභාගත කළා. මටත් ලැබුනා. දැන් මේකේ තියෙනවා එක් එක් අයගේ අදහස්.

රට අනාගමික රටක් බවට පත්කිරීමේ කතාවක් මේකේ තියෙනවා. තව තැනත තිබෙනවා සමලිංගිකත්වය පිලිබඳ කතාවක්. මේ මහජනයා මේ කමිටුවට කියපු ඒවා. එයාලගේ අදහස්. මේක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නෙවෙයි. මේක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පතකුත් නෙවෙයි. මේකේ තියෙන්නේ මහජන අදහස්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදනකොට කණ්ඩායම් තුනක් විතර ඒ පිලිබඳව විශේෂඥයෝ, නීති විශාරදයෝ දේශපාලන මට්ටමින් ඉන්න අය පාර්ලිමේනතුව ව්‍යවස්ථා සම්පාදක සභාවක් විදියට රැස්වෙනවා. ඒ විදියටයි කරගෙන යන්නේ.

මේ පොත ගැනයි මේ කතා බහ තියෙන්නේ. මේ පොත පෙන්නලා වැරදි විදියට සමාජය නොමග යවනවා. නමුත් මම පැහැදිලිව කියන්න ඕනෑ මේ මහජන අදහස්. මේ වාර්තාවේ තිබෙන සමහර කරුණු තිබෙනවා අපිට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ හැකි පිළිගත හැකි දේවල්. නමුත් සමහර කරුණු කිසිසේතම පිළිගන්නේ නැහැ, භාරගන්නෙත් නැහැ. ඒ මොකද රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදනකොට ඒ රටේ සංස්කෘතිය ප‍්‍රබලයි. රටක ව්‍යවස්ථාවට, නීතියට වැඩිය සිරිත් විරිත් සම්ප‍්‍රදායන් හා සංස්කෘතිය හරි ප‍්‍රබලයි. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනෑ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හදන්න මුල් වූ කරුණු තියෙනවා. මැතිවරණ ක‍්‍රමය වෙනස් වෙනවා. මැතිවරණ ක‍්‍රමය වෙනස් වනවිට අනිවාර්යයෙන්ම අද තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. අලූත් මැතිවරණ ක‍්‍රමයට සමගාමී ලෙස ඊට අනුකූල වන ලෙස අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යන්න ඕනෑ. ඒ වගේ කාරණා ගණනාවක් තිබෙනවා.

ජනාධිපති ධූරයේ බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන් මැතිවරණ ප‍්‍රකාශයේ මම සඳහන් කළ කරුණු ඉටු කරන විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් වෙන්න ඕනැ. දියුණූ ලෝකයත් එක්ක මානව හිමිකම් මූලික අයිතිවාසිකම්, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේවා සමග නව සංකල්පීය මත ගොඩනැගෙන විට ජනතාවගේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් එන්න ඕනෑ.

 

ජනාධිපතිතුමනි, සමස්ත ව්‍යවස්ථා සංශෝධනයක් පිලිබඳව ද ආණ්ඩුව අවධානය යොමු කරන්නේ?

සංශෝධනයක් නෙවෙයි මේ යන්නේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්. මේ ව්‍යවස්ථාව ගැන දීර්ඝ ඉතිහාසයක්නේ තියෙන්නේ. එක් දහස් නවසිය තිස් ගණන් ගත්විට සිංහල මුස්ලිම් කෝලාහලය, 40 දශකයේ ඉදලා දෙමළ සිංහල කොලාහල. ඔය හැම කාලෙකම මෙහෙම බරපතල ප‍්‍රශ්න ආවා. නිදහසෙන් පස්සේ බණ්ඩාරනායක මහත්මයා පළමු වරට බලය බෙදිම සඳහා එකඟතාවයකට ආවා චෙල්වනායගම් මහත්මයා සමග. ඩඞ්ලි සේනානායක මැතිතුමා ඊළඟට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්න සිද්ධ වුණා රටටම ඇඳිරිනීතිය දාලා. ඒ සියලූ දේවල් වල අවසානය මොකක්ද වුණේ යුද්ධය එන්න එන්නම ප‍්‍රබල වුණා.

ඒ අනුව රටම කියන්න ගත්තා අද තිබෙන 78 ව්‍යවස්ථාව පිලිබඳව. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් පොදුවේ දරන මතය 78 ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනෑ කියන එක. 78 ව්‍යවස්ථාව සම්මත වූ දවසේ සිටම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේකට විරුද්ධයි විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂය 1999 එහි වාර්ෂික සම්මේලනයේදී පළවෙනි වතාවට අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕනෑ කිව්වා 78 ව්‍යවස්ථාවෙන් බාහිරව. මේ පක්ෂ දෙකම එක මතයකට ඇවිත් ඉන්නවා. මුළු රටම කියනවා අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය.

මේ රට පාලනය කරන විට රාජ්‍ය ගැන හිතනවිට පළාත් හතක් ගණන් හදලා හිතන්න එපා. පළාත් නවය ගැනම හැම වෙලාවෙම හිතන්න ඕන. පළාත් හතක ඡන්ද ගැන කතාකරන්න හොඳ නැහැ. වසර 30 කට ආසන්න කාලයක් අපේ රටේ පළාත් හතක පාලනයක් ගැනයි කතා කලේ. අද ඒ තත්ත්වය නෙවෙයි තියෙන්නේ. ඒ නිසා රට වශයෙන් පළාත් නවයේම තියෙන ප‍්‍රශ්න තේරුම් අරගෙන ජනතාවට සැබෑ ලෙස නිදහසෙන් සාමයෙන් ඉන්න ශක්තිමත් පොදු සංහිඳියා ප‍්‍රතිපත්තිය තූළ රට ඉදිරියට ගෙන යාමයි අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ.

 

ජනාධිපතිතුමනි, ඔබ පක්ෂය හදනවා. ආණ්ඩුවේ වැඩ වලට අවධානය යොමු කරන්නේ නැහැයි කියා ඔබතුමාව පත්කරපු අයම චෝදනා කරනවා. මේක ඇත්තද?

බොහොම පැහැදිලිව මම ඒක ප‍්‍රතික්ෂේප කරනවා. එහි කිසිම සත්‍යයක් නැහැ. නමුත් අපි මැතිවරණ ප‍්‍රකාශනයේ දුන්න කරුණුත් අගෝස්තු 17 මැතිවරණ ප‍්‍රතිපලයත් තුළ අනිවාර්යයයෙන්ම සම්මුති ආණ්ඩුවක් ඇතිකළ යුතුමයි. ඒත් එක්කම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මම බලෙන් භාරගත්තේ නැහැනේ. මම ජනාධිපතිවෙලා 9 වෙනිදා දිවුරුමි දීලා 12 වෙනිදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ කිව්වා පක්ෂය භාරගන්න කියලා. මම භාරගත්තා. මම දැන් එය කරගෙන යනවා. ඒ අතරෙ ඇතැමුන් අකුල් හෙළනවා. පළාත් පාලන ඡුන්දෙට අපේක්ෂකත්වයට ඉල්ලපු අයට ලියුම් ගියාම ඉරනවා. පුච්චනවා. ඔය පේන්නේ. ඔය ඉරන්නේ පුච්චන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂෙ අය නෙවෙයි. ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකුට කවදාවත් ඔහොම පුච්චන්නත් බැහැ ඉරන්නත් බැහැ. පක්ෂෙ ඉරනවා පක්ෂෙ ගිනි තියනවා කියලයි ඔය කියන්නේ. ඒක නිසා සම්මුතිවාදී ආණ්ඩුවක් යනවිට ප‍්‍රධාන පක්ෂ දෙකේ අනන්‍යතාවයට කිසිදු හානියක් නැහැ. ඒ දේශපාලන පක්ෂ දෙක තමන්ගේ ප‍්‍රතිපත්ති සහ දර්ශන තුළ ගොඩනගන්න ශක්තිමත් කරන්න ඕනෑ. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක දුර්වල වෙන්න හොඳ නැහැ.

නිදහසින් පස්සේ ලංකාව ගත්තහම මොන අඩුපාඩු තිබුණත් මොන ප‍්‍රශ්න තිබුණත් මේ පක්ෂ දෙක රට කරගෙන ආවා. යුද්ධයත් එක්ක අමරු තැනකට ගියා.

ඉතින් එතැනදි අපි බොහෝම පැහැදිලිව පිළිගන්නට ඕනෑ තම තමන්ගේ පක්ෂ වල අන්‍යතාවය සුරක්ෂිත කරගෙන පක්ෂ පෝෂණය කරගෙන ඉදිරියට යන්න. සම්මුති ආණ්ඩු දේශපාලන සංකල්පයේ පොදු අරමුණ හැමවෙලේම පක්ෂය නෙවෙයි අංක එක. අංක එක රට සහ රටේ ජනතාව. ඊළඟට තමයි පක්ෂය එන්නේ. ඒක නිසා අපි හැම කෙනෙක්ම යම් කිසි කැපකිරීමක් කරන්න ඕනෑ. යූඑන්පී ද ශ‍්‍රී ලංකාද වෙන පක්ෂයක ද අපේ පොදු අරමුණ රට සහ රටේ ජනතාව. හෙට දවසට හොඳ රටක්. ඉතින් ඒ සඳහා තමයි අපි කැප වෙන්න ඕනෑ. මෙතනදී මේ පක්ෂ දෙකේ එකතුව ඉතාමත්ම හොඳ සංකල්පයක්.

 

මම අහන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන. දැන් 65 වෙනි සංවත්සරය එනවා. මේකත් එක්ක පක්ෂය දෙකඩ වීම ගැන. දෙකඩවීමක් ඇති වෙන්න පුළුවන් කියන කාරණය ගැන කතා වෙනවා. දැන් 65 වෙනි සංවත්සරයෙන් පස්සේ ඔබ පක්ෂය සම්බන්ධයෙන් මීට වඩා වෙනස් වූ තීන්දු තීරණ ගන්න සූදානමක් තියනවද?

65 වෙනි සංවත්සරය කුරුණෑගල පවත්වන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තමයි තීරණය කළේ. අපි ඉතාම සාර්ථක, ඉතාම ශක්තිමත් දේශපාලන ගුණාත්මක භාවයෙන් වැඩි සංවත්සර උළෙලක් අපි පවත්වනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු පළාත් සභා, පළාත් පාලන සියලූ දෙනාට පක්ෂ ව්‍යවස්ථාව තුළ ඒ සියලූ දෙනාට ආරාධනා කරනවා. කිසි කෙනෙකුට බාධාවක් නැහැ.
ඉතින් මම දන්නේ නැහැ වෙන කවුරු හරි තව පක්ෂ සංවත්සරයක් කොහෙවත් තියනවද කියලා. ඒත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයනේ. තව එකක් නෙවෙයි දහයක් තියෙනවා නම් හොඳයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඒකෙ කිසි ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි අපි කවුරුවත් අයින් කරලා නැහැ. අපි හැම කෙනෙකුටම ආරාධනා කරලා තියෙනවා. ඒක නිසා 65 වෙනි සංවත්සරයට සියලූ දෙනාට එන්න කියලයි කියන්නේ. අපි ඉතාම සාර්ථක දේශපාලන ගුණාත්මකභාවයෙන් යුතු ඉතාම හොඳ සංවත්සර උළෙලක් පවත්වනවා කුරුණෑගල දී සැප්තැම්බර් 04 වෙනිදා.

 

ඔබ පක්ෂයේ තීන්දු ගන්නෙත්, රටේ තීන්දු ගන්නෙත් හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කියන කාරණා අනුව ඇගේ උපදෙස් අනුව තමයි මේ දේවල් කරන්නේ කියලා චෝදනාවක් තිබෙනවාද? මහබැංකු අධිපතිවරයා පත් කළෙත් එතුමිය කියපු නිසා. එතුමිය තමයි මේ නම යෝජනා කළේ කියලා සමාජයේ කතා බහක් තියෙනවා. එහෙමද?

ඕක සම්පූර්ණ අසත්‍යක්. දැන් ඉන්න මහ බැංකු අධිපතිතුමා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයා පත් කරන එක චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දන්නෙත් නැහැ. පත් කරලා ඊට පහුවදා එතුමිය මට කතා කරලා කිව්වා බොහොම හොඳ තීන්දුවක් අරගෙන තියෙන්නේ. මමත් බොහෝම කැමතියි සුබ පතනවා කියලා. එතුමිය ඒ ගැන කිසි දෙයක් දැන ගෙන හිටියෙත් නැහැ. ඔය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කියන විදියට තමයි මම වැඩ කරන්නේ කියන කතාව එක්තරා සංවිධානාත්මක පිරිසක් තමයි ගෙනියන්නේ. මම හිතන්නේ එතුමිය හම්බවෙන්න වෙලාවක් අපි හරියට දා ගෙන්නේ නැහැ කියලත් මට දොස් කිව්වා. අපි එහෙම නිතර හම්බ වෙන්නෙත් නැහැ. ඒක නිසා ඒවා ඉතාම අසත්‍ය කතා. පක්ෂයේ පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීම වෙලාවේ විනය නීති ක‍්‍රියාමාර්ග ගන්න තීන්දුවේදිත් මම දැක්කා එක්තරා ඉංග‍්‍රීසි පුවත්පතක මගේ චායාරූපයයි ඊටපස්සෙන් ලොකුවට චන්ද්‍රිකා මැතිණියගේ චායාරූපයයි දාලා රටේ මතයක් පෙන්නන්න හදනවා.

ඒක සම්පූර්ණ අසත්‍යයක්. එදා එතුමිය මධ්‍යම කාරක සභාවට එනකොට ඒ විනය නීති ක‍්‍රියාමාර්ග ගැන ඔක්කොම සාකච්ඡා කරලා ඉවරයි. එතුමිය ප‍්‍රමාද වෙලා ආවේ. එතුමිය එනකොට අපි කතාකළේ පක්ෂ සංවත්සර උත්සවය ගැන. බොහොම වැරදි මතයක් මේ දෙන්න හදන්නේ. මං ඒ ගැන හරිම කණගාටු වෙනවා.

අපි බොහෝම මිත‍්‍රශීලීව කටයුතු කරන්නේ. සුහදතාවයෙන් වැඩ කරන්නේ. මගේ ගෞවරයක් එතුමියට තියෙනවා. නමුත් ගෙන යන ප‍්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍යයයි.

 

ඔබේ ආණ්ඩුව ලොකු හොරු විතරයි අල්ලන්නේ. පොඩි හොරු අල්ලන්නේ නැහැ. මොකද පසුගිය දශකය තුළදි පළාත් පාලන මට්ටමේ නියෝජිතයන්ට විශාල වශයෙන් චෝදනා ආවා. දුෂණ කරපු අය ගැනත් කතා වුණා. දැන් මේ අයට විරුද්ධව ක‍්‍රියාමාර්ග ගන්නවයි කියන එකක් පේන්න නැහැ. ඇයි එහෙම වෙලා තියෙන්නේ?

නැහැ. සාමාන්‍යයෙන් ඔය මාළු අල්ලන්න යන අයත් හාල් මැස්සන්ට වැඩිය ඉස්සෙල්ල තෝරු මෝරුන්ට තමයි දැල් ගහන්නේ. ඒ මොකද එතනනේ වටිනාකම තියෙන්නේ. ඉතින් ඒවගේ මේ රටේ මහජනයා බලාපොරොත්තු වන දෙයක් තියෙනවා. මහජනයා බලාපොරොත්තු වෙන්නේ මහා පරිමාණයෙන් විශාල වංචා, දූෂණ හොරකම් කරපු අය සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග රජය ගනී කියලා. නමුත් ඒවගේම ඔබ කියපු ඉන් පහළ මට්ටමේ අය ගැන එහෙම අපේ කිසිම බලපෑමක් උපදෙස් දීමක් නැහැ. ඒ ආයතන තමයි ඒ කටයුතු කරගෙන යන්නේ. හැබැයි තියන ප‍්‍රශ්නය ඔය ආයතන වලට ඉන්න කාර්යය මණ්ඩලයත් එක්ක ඔය හැම එකකම එකවර පරීක්ෂණ කරන්න අමාරුකමක් තියෙනවා. ඒක නිසා ඒ ගොල්ලෝ රටේ මහජනයා බලාපොරොත්තු වන ආණ්ඩුව බලාපොරොත්තු වන ඒ ප‍්‍රධාන කරුණුවලට ප‍්‍රමුඛත්වය දීලා තියෙනවා. ඒවා යම් ප‍්‍රමාණයකට අවසන් වුණාම අනික් ඒවාට අත තියයි.

 

ජනාධිපතිතුමනි, ඔබ සෑහීමට පත් වෙනවද ඒ දූෂණ, වංචා කරපු අය සම්බන්ධයෙන් කරන නීති කටයුතු බොහොමයක් බොහෝම සෙමින් වෙන්නේ. සමහර දේවල් වෙන්නෙත් නැහැ. සමහරු අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ ඇප මත නිදහස් වෙනවා. මේ ගැන සංවාදයක් තියෙනවා. කළකිරීමක් තියෙනවා. ඔබට ඡුන්දය දුන් අය අතරේ. ඔබ ඒක විශ්වාස කරනවද?

රටේ නීතියක් තියෙනවා. අපි ආණ්ඩුවක් විදියට සාදාචාරාත්මක ආණ්ඩුවක්. විනයක් හික්මීමක් ඇතිවයි වැඩ කරන්නේ. එහෙම නැතිව නිකන් කැලෑ නීතියට අනුව වැඩ කරනවා නම් ඔන්න පළිගැනීම් කරනවා නම් ඔය නීතිරීති මොකක් වත් නැතිව කොහොම හරි හොයාගෙන ආවා බොරු චෝදනා දැම්මා අඩත්තේට්ටම් කරලා එහෙම ක‍්‍රමයක් අපේ ආණ්ඩුවේ නැහැනෙ. එතකොට අපි ඒක බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕනෙ. දැන් පසුගිය දවස් වල පාගමනක් ගියේ කට්ටියක්. දැන් ඔය පාගමන කලින් ආණ්ඩුව කාලේ එහෙම ගියා නම් ඕක නුවරින් කඩුගන්නාවට එන්න හම්බ වෙන්නේ නැහැ ගහලා එළවනවා. මම දන්නවානෙ ඒ කාලවලදි යම් යම් අයට අත්වුණ ඉරණම. ඒක නිසා අපේ තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයත් එක්ක සමහර වෙලාවට නිදහස කියන එක සීමාවෙන් එහා සමහර අය පාවිච්චි කරන බවක් අපට පේනවා.

මේ කරුණු සියල්ලම ගත්තහම අපි බොහොම පිරිසිදු අදහසකින් වැඩ කරන්නේ. විපක්ෂය කියලා කවුරු හරි ඉන්නවා නම් ඒ විපක්ෂයේ ඉන්න අයත් දැන ගන්න ඕනැ රට සහ රටේ මහජනයා ගැන ආදරයකින් කටයුතු කරන්න. එහෙම නැතිව ඉදිරියේ තියෙන ඡන්ද වලට කතා කිරීම නෙවෙයි තියෙන්නේ. අපි බරපතල ආර්ථික අර්බුදයක ඉන්නවා. ජාත්‍යන්තර වශයෙන් අපිට තියෙන ප‍්‍රශ්න අපි විසඳා ගත යුතු වෙනවා. මේ සියල්ලත් එක්ක අපි හැමකෙනෙක්ම සුහදතාවයෙන් සාමූහිකව අපේ රට අපේ ජනතාව අපේ මතෘභූමිය කියන හැඟීමෙන් අවංකව වැඩ කරන්න ඕනෑ.

එහෙම නැතිව පටු දේශපාලන පරමාර්ථවලින්, බලය, බලකාමය, බල තණ්හාව, බල තෘෂ්ණාව, බල ලෝභය ඒක විශාදමය තත්ත්වයක්. බලයේ හිටපු සමහර අයට ඒක නැතිව බැහැ. ඉතින් ඒක නිසා ඔය එහෙ මෙහෙ යනවා. නමුත් එහෙම නෙමෙයි රටක් විදියට වගකීමෙන් වැඩ කරන්න ඕනෑ.

 

ඔබතුමා පොරොන්දුවක් දුන්නා පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පවත්වනවයි කියලා. ඒ පොරොන්දු ප‍්‍රකාරව වැඩ කරනවද?

පැහැදිළිවම. දැන් එතනදි මැතිවරණ කොමසාරිස්තුමාගේ උපදෙස් අනුව තමයි කමිටුවක් පත් කරලා කොට්ඨාස බැලීමේ කටයුතු නිර්ණය කිරීමේ කටයුතු කරගෙන යන්නේ. කලින් කරලා තිබුණ ආකාරය ගැන බොහෝ විවේචන ආවා. ඇත්තටම වැරදි රාශියක් තිබුණා. ඒ නිසා බොහොම අපක්ෂපාතීව මධ්‍යස්ථව කොට්ඨාස වෙන් කිරීමේ කටයුතු කරන්න කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුව කටයුතු කරගෙන යනවා. අපි පැහැදිළිව ඒ අයට කියලා තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනින් මේ වැඩ ඉවර කරන්න කියලා. අපි මුලින් කිව්වා මේ අවුරුද්දේ මැද වෙනකොට ඉවර කරන්න කියලා. නමුත් ඒගොල්ලො කිව්වා ලැබිලා තියෙන අභියාචනා සංඛ්‍යාව අනුව එහෙම පුළුවන්කමක් නැහැ කියලා. ඒ නිසා අපි කියලා තියෙන්නේ ලබන අවුරුද්දේ මුල කොහොම හරි මේ ඡුන්දේ තියන්න ඕනෑ. ඒ කටයුතු අවසන් කරන්න කියලා. ඒක නිසා ඒ කොමිෂන් සභාවේ කාර්යය ඉවර වූ වහාම අපි ඡන්දයක් තියනවා.

 

අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැන ගන්න කැමතියි පාද යාත‍්‍රාව පිළිබඳව ඔබේ තක්සේරුව කුමක්ද? ඔවුන් කිව්වා අපි ආණ්ඩුව සෙලෙව්වයි කියලා. ඒ එක්කම මෙතනදි ප්‍රකාශ වුණ දේ තමයි අපි ආණ්ඩුව ගන්නවා කියලා ළඟදීම. ආණ්ඩුව වැටෙයිද ඉක්මනින්?

පාද යාත‍්‍රාවෙන් වුණේ ආණ්ඩුව ශක්තිමත් වුණ එක. මොන හෙලවිල්ලක්ද හෙලවුණේ ඒ අයනේ. මේ පා ගමනේ අරමුණ ආණ්ඩුවට අභියෝගයක් නෙවෙයි. පාගමනේ හැසිරීම, කියපු දේවල්, පාවිච්ච කරන ලද වචන මේ සියල්ලම ගත්තහම ආණ්ඩුවට හෝ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව නෙවෙයි පාගමන ආවේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම සඳහා කරපු පැහැදිළි වැඩපිළිවළක් මේක. ඒක තමයි ඇත්ත තත්ත්වය. මේ පා ගමන ගැන වඩාත්ම සතුටු වෙච්ච අය තමයි එක්සත් ජාතික පක්ෂය. මං ඒක බොහොම පැහැදිළිවම දන්නවා. මොකද ඒගොල්ලන්ට හැඟීමක් ආවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරම තමා. දැන් ඉතින් කැඩෙනවාම තමා කියලා. ඒක තමයි ඇත්ත කතාව. එතකොට ඔය පාගමන ආණ්ඩුවට අභියෝගයක් නෙවෙයි. ආණ්ඩුව සෙලවුණේ නැහැ. ආණ්ඩුව ශක්තිමත් වුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තමයි ඒගොල්ලෝ අභියෝග එල්ල කළේ. පක්ෂ මූලස්ථානය ඉස්සරහ තමයි හූ කිව්වේ. එතකොට නොයෙක් නොයෙක් ප‍්‍රකාශ, කරපු දේවල් මම දන්නවා. මම ඒවා ගැන කතා කරන්න කැමති නැහැ. ඉතාම පැහැදිලිව කියන්න ඕනෑ මේ පා ගමන තුළ අපි ආණ්ඩුව විදියට ශක්තිමත් වුණා.

මමත් ඒ පාගමන අවසන් වුණාට පස්සේ තීරණය කළා මම මෙතෙක් කරගෙන ආපු කටයුතු වලත් යම් යම් වෙනස්වීම් කළයුතුයි කියලා. ඒ නිසා රජයේ කටයුතු සම්බන්ධයෙන්, පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන්, රට සහ රටේ ජනතාව වෙනුවෙන් මම කරන කැපවීම්වලදි එම කටයුතු මෙම පා ගමනින් පස්සේ තවත් ශක්තිමත්වුණා කියලා කියන්න ඕන. මට ලොකු හයියක් ලැබුණා. මම ඒ ගැන සතුටු වෙනවා. ඒක නිසා පා ගමන් තව දෙක තුනක් යන්න කියලයි මම කියන්නේ.