සයිබර් අපරාධ මැඬලීමට නව පොලිස් ඒකකයක් පිහිටුවිය යුතු බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ (1866 -2016) “විශිෂ්ඨත්වයේ ගමනක් 150 වන පොලිස් දින සැමරුම” නමින් අද කොළඹදී පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

150 වන පොලිස් සැමරුම් උත්සවය වෙනුවෙන් නිර්මාණය කරන ලද ලාංඡනය එළිදැක්වීමද එහිදී සිදුවිය.

පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ දී එම උත්සවය පැවැත්වුණේ නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අමාත්‍යංශ ලේකම් ජගත් විජේවීර, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව  ශ්‍රී ලංකා පොලීසිය ලෙස ස්ථාපිත කළ යුතු බවද අමාත්‍යවරයා එහිදී පැවසූ අතර එම උත්සවය ඇමතු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොලිසිය අභිමානවත් පොලීසියක් ලෙස ස්ථාපිත කළ යුතු බවයි.

සාමාන්‍යයෙන් පොලීසිය දේශපාලකයින්ට, ධනවතුන්ට ආචාර කරන බවට පසුගිය කාලයේ මතයක් තිබූ බවත්, මහජන මිත්‍රශීලි පොලිස් සේවයක් සඳහා ඉදිරියේදී එසේ කළ නොහැකි බවත්, ඇමති සාගල රත්නායක මහතා එහිදී පැවසීය.