කොළඹ නාගරික සීමාව තුළ, A-1 ශ්‍රේණිගත වැදගත්ම පොලිස් ස්ථානයක් වන කුරුඳුවත්ත පොලීසිය මේ වනවිට ත්‍රීවිල් රථගාලක් බවට පත්ව ඇති බව ඊයේ (26) උදෑසන විෂයභාර අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් පෙර දැනුම්දීමකින් තොරව සිදු කරන ලද නිරීක්ෂණ චාරිකාවකදී හෙලිදරව් වී තිබේ.

කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ සේවයේ නියුතු සෑම පොලිස් නිළධාරියෙකුටම ඔවුන් සතුව ත්‍රීවිල් රථයක් හෝ දෙකක් ඇති අතර සේවාමුරවලදී පවා හයර් යාම මෙම පොලිස් නිළධාරීන්ගේ දෛනික චර්යාවක් වී ඇත. මෙම ප‍ොලිස් ස්ථානයේ රාජකාරි කරන නිළධාරීන් සතුව ත්‍රීවිල් රථ 65 ක් ඇති බවට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට පැමිණිලි ලැබී ඇත. තත්වය එසේ බැරෑරුම් වී ඇත්තේ පොලිස් ස්ථානය පාලනය කිරීම සඳහා ස්ථානාධිපතිවරයෙකු නොමැතිකම හේතුවෙනි. පසුගිය මාස 9 හමාරක කාලය තුළ ස්ථානාධිපතිධූරය ඇබෑර්තුව පවතී. වැඩබැලීම සඳහා ස්ථානාධිපතිවරයෙක් පත්කර ඇතත් සාගල රත්නායක මහතා එහි යනවිට ඔහු ද එහි සිට නැත.

පොලිස් ස්ථානයේ අකාර්යක්ෂමභාවයෙන් හා අකටයුතුකම්වලින් කෝප වී ඇති සාගල රත්නායක මහතා ඒ පිළිබඳව විමසීම සඳහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පතිනායකගේ ජංගම දුරකතනය අමතා ඇති අතර ඔහු හිතාමතාම ඇමතිවරයාගේ දුරකතන ඇමතුමට පිළිතුරු දීම පැහැර හැර තිබේ. ඉන්පසු බස්නාහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා අමතා ඇති ඇමතිවරයාට ඔහුගෙන්ද කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

පසුව අමාත්‍යවරයා පොලිස්පතිවරයා අමතා ඇති අතර ඔහු එම අවස්ථාවේදී පොලිස් ක්‍රීඩාංගනයේ උදෑසන ව්‍යායාම්වල නිරතවෙමින් සිට ඇත. කෙටි වේලාවකින් එහි පැමිණ ඇති පොලිස්පතිවරයා, අමාත්‍යවරයාගේ ප්‍රශ්නකිරීම් හමුවේ දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. එහිදී පොලිස්පතිවරයා අමාත්‍යවරයා හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ස්ථානාධිපතිවරයෙකු පත්කිරීම පොලිස් කොමිසමේ වගකීමක් බවත් තමන් කිහිප වතාවක් සිහිකැඳවීම් කළද පොලිස් කොමිසම ඒ පිළිබඳව නිසි අවධානයක් යොමුකිරීමට අපොහොසත් වූ බවයි.

දැනට කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු මුදල් පොළියට දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි. ඔහුගේ බිරිඳ සතුව වැල්ලවත්ත ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් ද පවතී. කොළඹ දිසාව පුරා සහකාර පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ඔහුගේ ගනුදෙනුකරුවන් වේ. ඔවුනගේ පෞද්ගලික කර්තව්‍යයන් සඳහා වාහනයක් අවශ්‍ය වූ විට ඒවා සපයා දෙනු ලබන්නේ මෙම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා විසිනි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාට කලෙක සිට මෙම පොලිස් ස්ථානයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති අතර අමාත්‍යවරයා අද පෙරවරුවේ පූර්ව දැනුම්දීමකින් තොරව නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත්තේ එම පැමිණිලි තහවුරු කරගැනීමටය. අද පස්වරුව වනතෙක් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හෝ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හෝ අමාත්‍යවරයාගේ දුරකතන ඇමතුම්වලට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි.