ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ 65වන සංවත්සරය සැප්තැම්බර් මස 03 වන දින උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව පක්ෂයේ මහලේකම්,අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මෙම සමුළුව පක්ෂයේ ශක්තිමත්භාවය පෙන්වන අවස්ථාවක් වනු ඇති බවත්,මීට පෙරාතුව මෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසකවරුන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්,හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටත් ආරාධනා කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

හිටපු ආසන සංවිධායකවරුන් පිරිසක් වෙනුවට නව සංවිධායකවරුන් පිරිසක් පත්කරනු ලැබුවේ කිසිවෙකුගෙන් පලිගැනීමට හෝ කිසිවෙකුට හිරිහැර කිරීමට නොවන බවද දුමින්ද දිසානායක මහතා කියා සිටියේ අද (18)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

නව ආසන සංවිධායකවරුන් පත්කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලැබුවේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුවක් මගින් බවත්,එයින් සියයට සියයක්ම පාහේ ඉකුත් කාලයේ මහින්ද රාජපක්ෂ මහතා සමග සහයෝගයෙන් කටයුතු කළ උදවිය බවත් ඔහු සඳහන් කළේය.

පක්ෂය ඉදිරියට ගෙනයාමට පක්ෂය සමග කටයුතු කරන අලුත් මුහුණුවලට ඉඩදුන්නු බවත්,හිටපු ‍බොහෝ පිරිසක් ජ්‍යෙෂ්ඨයින් ලෙස ජනප්‍රිය වුවද පක්ෂ යාන්ත්‍රණය තුළ නොසිටි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

අලුතින් පත් කළ උදවිය පවා පක්ෂයේ යාන්ත්‍රණය තුළ නොසිටියහොත්,පක්ෂ ව්‍යවස්ථාවට පටහැණිව ක්‍රියා කරනු ලැබුවහොත් ඒ පිරිසටද මෙම ඉරණම අත්වනු ඇති බව ඔහු කියා සිටියේය.

මීට පෙරාතුව මැයි දිනයේදීද ඇතැමුන් පක්ෂයට එරෙහිව විනය කඩකිරීම් සිදුකළද,අඩියක් පිටුපසට ගෙන පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් දැඩි ක්‍රියාමාර්ග නොගෙන නිහඬව සිටි බවත්,එහෙත් දිගින් දිගටම එවන් ක්‍රියා සිදුවෙද්දී පක්ෂය රැකගැනීම සඳහා ක්‍රියාමාර්ග ගතයුතුවීම සාධාරණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

හම්බන්තොට නගරාධිපති එරාන් ප්‍රනාන්දු මහතාටද එවන් චෝදනා එල්ලවී තිබියදී ඔහුට සංවිධායක ධූරයක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් විසින් විමසන ලදුව අමාත්‍යවරයාගෙන් ලැබුණු ප්‍රතිචාරය වී ඇත්තේ ඔහුට චෝදනා එල්ලවුවත් ඒ කිසිවක් ඔප්පුවී නැති බවයි.

නාමල් රාජපක්ෂ මහතාටද චෝදනා එල්ලවී ඇතත් කිසිදු චෝදනාවක් ඔප්පුවී නොමැති බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

කෙසේ වෙතත් ආසන සංවිධායක ධූරය අහිමිවීම යනු පක්ෂ සාමාජිකත්වය අහිමිවීම නොවන බැවින් සියලුම දෙනාට පක්ෂ සමුළුව විවෘත බවත්,සහභාගිවන ලෙස ඔවුන්ට ආරාධනා කර ඇති බවත් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

LEAVE A REPLY