සෑම ආයතනයකම කැළිකසළ කළමනාකරණය හා ඩෙංගු මර්දන ඒකකයක් පිහිටුවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) මහරගම තරුණ මධ්‍යස්ථානයේ පැවැති කොළඹ දිස්ත්‍රික්ක පරිසර සමුළුව අමතමින්ය.

එහිදි වැඩිදුරටත් කතා කළ ජනාධිපතිවරයා මෙසේද කීය….. මේ ඒකකයට පත්වන අය වැඩකරන දින පහේදී අඩුම වශයෙන් පැය භාගයක් වත් රැස්වී ආයතනයේ පිරිසිදුකම, ඩෙංගු මදුරු මර්දනයට ඉවහල්වන ක්‍රියාකාර කම් ගැන සාකච්ඡා කළ යුතුයි. එමෙන්ම මේ පිළිබඳ මාධ්‍ය මගින් , සෞඛ්‍ය හා පරිසර අමත්‍යාංශ මගින් ලබා දෙන දැනුවත් කිරීම් හා උපදෙස් ප්‍රයෝජනයට ගත යුතුයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාව වගේම මේ නගරයට දිනකට පැමිණෙන දසලක්ෂයක ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය ඇති කිරීමේ වගකීම හා යුතුකම ඔබ අප සියලු දෙනාට පැවරෙනවා.

ඒ නිසා මේ සම්බන්ධ චක්‍රලේඛ මීට පෙර ලැබී ඇත ඉදිරියේදීත් ලැබෙයි ඒ ගැන අවධානය යොමුකරනවා වගේ මේ කියන කරුණු ගැනත් අවධානය යොමු කොට මේ ඒකකය පිහිටුවන්න.

මේ සම්බන්ධව ආයතන මට්ටමින් එක්ව සාකච්ඡා කරන්න. සංවාද කරන්න.

කොළඹ විශාල ලස්සනගොඩනැගිලි, මාර්ග තිබුණාට පළක් නැහැ. එහි සැබෑ ලස්සන තියෙන්නේ මිනිසුන්ගේ ජීවිත ලස්සන වුණාමයි, ඔවුන් සෞඛ්‍ය සම්පන්න වුණාමයි. ඒ නිසා නිරෝගිමත් ජනතාවක් වෙනුවෙන් අපි සියලු දෙනා ඇප කැපවී කටයුතු කරමු.