විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ යටතේ සිගරට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දැමුවහොත් රජයට රුපියල් බිලියන 80ක අමතර ආදායමක් ලබා ගත හැකි බව පා.ම බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රුපියල් 20ක් මදිනම් රුපියල් 40කින් වුවද සිගරට්ටුවක මිල වැඩි කළ හැකි බව  පෙන්වාදෙන මන්ත්‍රීවරයා
එමගින් තවදුරටත් බදු ආදායම වැඩි කර ගත හැකි බවද  කියයි.

දුම්වැටි බදු ඉහළ දැමීමට එරෙහිව ඇතැම් පිරිසක් කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසන බවත්, ජනාධිපතිවරයාට සිය බලතල පාවිච්චි කර ගැසට් නිවේදනයක් මගින් මෙම බදු නැංවීම කළ හැකි බවත්, එසේ නොකරන්නේ නම්  ඊට එරෙහි වන නිලධාරීන්ගේ නම් ගම්  ජනාධිපතිවරයා හෙළි කළ යුතු බවත්, මන්ත්‍රීවරයා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ 2014 රජයේ වැට් ආදායම රුපියල් බිලියන 275ක් වූ නමුත් යහපාලන ආණ්ඩුව යටතේ 2015දී වැට් ආදායම රුපියල් බිලියන 225ක් බවත්, මන්ත්‍රීවරයා කීවේය.

එමඟින් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයින්ට වැට් බදු අය කිරීම සම්බන්ධයෙන් දැනුමක් නොමැති වීම  යැයිද මහින්ද චින්තන ප්‍රතිපත්තිය තුළ වැට්බදු අය කිරීම නිසි පරිදි සිදුවූ බවද හෙතෙම පෙන්වාදුන්නේය.

එම මාධ්‍ය හමුව ඇමතු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේ මේ වසරේදීත් හරි හැටි අය වැයක් ක්‍රියාත්මක නොවන බවය.

අය වැයක් හරියට හදා ගැනීමට නොහැකි ආණ්ඩුවකට ආසියානු ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය විය හැකිදැයි ප්‍රශ්න කළේය.

LEAVE A REPLY