සියලූම වර්ගවලට අයත් පූර්ණ වල් නාශක මෙරටට ආනයනය කිරීම, අලෙවිය සහ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලෙස ජනාධිපතිතුමා පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාට හා අදාළ අංශවලට උපදෙස් දෙයි.

වස විසෙන් තොර ආහාර ලබාදෙමින් රටේ ජනතාව නිරෝගිමත් ජනතාවක් බවට පත් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි රජය වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

වල් නාශක, කෘමි නාශක සහ රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිතය හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට දැඩි තර්ජන එල්ල වී තිබෙන අතර ජනතාවගේ සෞඛ්‍යයට ඉතා අහිතකර වල් නාශකයක් වූ ග්ලයිෆොසේට් වල් නාශකය මෙරටට ගෙන්වීම තහනම් කිරීමට ද රජය මින් පෙර පියවර ගෙන තිබුණි.

එහෙත් ග්ලූෆෙසියේට් ඇමෝනියම් නම් රසායනික වල් නාශකය විවිධ වෙළඳ නාමයන් යටතේ තවදුරටත් මෙරටට ආනයනය කිරීම හා බෙදාහැරීම සිදුවන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර මේ පිලිබඳව දැඩි අවධානය යොමු කරමින් සියලූම වර්ගයේ පූර්ණ වල් නාශක ආනයනය තහනම් කිරීමට ජනාධිපතිතුමා මෙලෙස උපදෙස් ලබා දී තිබේ.

LEAVE A REPLY