ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පිළිබඳව මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔහු පවසන්නේ, සුසන්තිකා ජයසිංහට ක්‍රීඩා අමාත්‍යාංශයේ තනතුරක් ලබාදී මසකට රුපියල් 60,000ක දීමනාවක් හා තවත් රුපියල් 15,000ක ඉන්ධන දීමනාවක්ද ලබාදුන්නද එම තනතුරට අදාළ වගකීම් ඇය අඛණ්ඩවම ඉටුකර නොමැති බවයි.

එසේම ඇය සේවයෙන් ඉවත් කර නොමැති බවත් පසුගිය වසරේදීද ඇයට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 11ක මුදලක් පරිත්‍යාග කළ බවයි. එසේම ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය කිසිදු අවස්ථාවක සිය දැනුම ලබාදීමක් සිදුකර නොමැති නමුත් 2016 වසරේ ජූලි සිට 2017 මාර්තු දක්වා ඇයට අඛණ්ඩව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වැටුප් දුන් බවයි.

ශ්‍රි ලංකා කෙට්දුර ධාවන ශුරි සුසන්තිකා ජයසිංහව කිසිදු අන්දමකින් සේවයෙන් පහාකර නැතැයි ක්‍රී අමාත්‍යංශයේ ලේකම් අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඔහු පවසන්නේ සුසන්තිකා ජයසිංහ මහත්මියට වයස අවුරුදු  60 දක්වා සේවය කිරිමට හැකි අන්දමින් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරය විසින් පත්විම් කර ඇති බවයි. විවිධ මාධ්‍ය වෙත අසත්‍ය ප්‍රචාරයන් නොකර ඉදිරි අනාගතයේදි ඇය වැනි දක්ෂ ක්‍රිඩක ක්‍රීඩිකාවන් රටට දායාද කිරිමට අවශ්‍ය සහය ක්‍රිඩා අමාත්‍යංශයට ලබදෙන ලෙසයි එහි ලේකම් විසින් මාධ්‍යට නිකුත් කළ දිර්ඝ ලිපියෙන් ඉල්ලා ඇත්තේ.

ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් විසින් මාධ්‍යට කළ නිවේදනය පහතින් 

සුසන්තිකා ජයසිංහ මහත්මියගේ වැටුප් නොගෙවීම පිළිබඳ පළවී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධවයි

ජනමාධ්‍ය ඔස්සේ සුසන්තිකා ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කරන චෝදනා සම්බන්ධව කෙරෙණ කරුණු පැහැදිලි කිරිමයි. – 2000 වසරේදී ඔලිම්පික් පදක්කමක් දිනාගනිමින් ජයසිංහ මහත්මිය මෙරටට අත්කර දුන් කීර්තිය පළමුව ගෞරවන්විතව සිහිපත් කරමි. එදා සිට මේ දක්වා පැවති රජයන් විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත මුදල් ත්‍යාග, නිවාස, රථ වාහන ආදි විවිධ වූ ප‍්‍රදානයන් ලබාදී ඇත. තවද ජයසිංහ මහත්මිය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ඇයගේ චරිතා ප‍්‍රදානය ප‍්‍රකාශයට පත්කිරීමට අප අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම අනුව ක‍්‍රීඩා අමාත්‍යතුමන්ගේ අනුමැතිය පරිදි රුපියල් ලක්ෂ එකොලාහක මුදල් ප‍්‍රදානයක් ද පසුගිය වසරේදී ඇය වෙත ලබාදී ඇත. එවන් තත්ත්වයක් තුළ පවා  ඇය පත්ව ඇතැයි කියන ආර්ථික අපහසුතා පිළිබඳව  කණගාටු වෙමි.

ප‍්‍රථමව සඳහන් කළ යුත්තේ සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් පවසන ආකාරයේ සේවයෙන් ඉවත් කිරීමක් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙතෙක් සිදුකර නොමැති බවයි. ඇයට හිමි අපේ‍්‍රල් මාසයට අදාළ ගෙවීම්හි යම් තාවකාලික පමාවක් සිදුව ඇති අතර ඊට අදාළ හේතු මෙම ලිපියේ මතු දැක්වෙනු ඇත.

මීට ඉහත රජය සමයේ ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශිකාවක් ලෙස පත්කර තිබූ අතර 2015 වසරේදී නව රජය පත්වන විට ඇගේ සේවය අවසන් වී තිබිණි. නව රජයේ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස නීතිඥ දයාසිරි ජයසේකර මහතා වැඩ භාරගැනීමෙන් පසු මෙම තත්ත්වය වෙනස් කර සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සේවය ගෞරවන්විතව ලබාගැනීමට අවශ්‍ය පියවර ගැණිනි. ඒ අනුව කුමන අමාත්‍යවරයෙක් ක‍්‍රීඩා අමාත්‍ය ධූරය දැරුව ද ජයසිංහ මහත්මියට වයස අවුරුදු 60 වනතුරු රු.60,000ක මාසික දීමනාවක් සහ රු.15,000ක ඉන්ධන දීමනාවක් ලබාදීමට අපේක්ෂිත අනුමැතීන් ඉල්ලා 2016.05.19 වන දින කැබිනට් මණ්ඩලය වෙත ක‍්‍රීඩා අමාත්‍යතුමන් විසින්  සංදේශයක් ඉදිරිපත් කරනු ලැබිණි. එම සංදේශය ප‍්‍රකාරව කැබිනට් අනුමැතිය හිමිවූයේ 2016.07.01 දින සිට වසරින් වසර දීර්ඝ කිරීමට යටත්ව 2020 වසර දක්වා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ජාත්‍යන්තර තරග සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීමේ උපදේශක වශයෙන් ජයසිංහ මහත්මියව පත් කිරීමටයි. මේ වෙනුවෙන් රජයේ අමාත්‍යාංශයක උපදේශකවරයෙකු වෙත කාර්ය සාධනය පදනම් කරගෙන පිරිනැමෙන රුපියල් 60,000ක වැටුප් ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිණි.

මීට අදාළ පත්වීම් ලිපිය ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2016.07.01 දින සිට බලපැවැත්වෙන පරිදි 2016.08.12 වන දින ඇය වෙත යවා ඇති අතර එහි 08 වන ඡේදය යටතේ ”ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විසින් ඔබ වෙත පවරනු ලබන රාජකාරී ඔබ විසින් ඉටුකළ යුතුය. සෑම මසකම පළමු සතියේදී මාසික ඉදිරි වැඩසටහන ලේකම් වෙත ඉදිරිපත් කර අනුමත කරගත යුතු අතර මාසය අවසානයේදී කළ වැඩසටහන පිළිබඳ වාර්තාව ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය”.

09 වන ඡේදය යටතේ ”තවද සෑම වසරක් අවසානයේදීම එම වර්ෂය තුළ ඔබ විසින් ඉටු කරන ලද කාර්ය භාරය සම්බන්ධව වාර්තාවක් හා ඉදිරි වර්ෂයේදී සිදුකිරීමට අපේක්ෂිත කාර්යභාරය පිළිබ`ද වාර්තාවක් ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය”. බවට ස`දහන්ව ඇත.

මෙම තනතුරෙහි පිහිටා සේවය කිරීමට කොළඹ 07, ටොරින්ටන් ක‍්‍රීඩා පිටියේ පිහිටි ක‍්‍රීඩා සංගම් සඳහා වෙන්කර ඇති ගොඩනැගිල්ලේ 03 වන මහළෙහි 08 වන කාමරය ද ඇයට වෙන්කර ලබාදුණි.

සුසන්තිකා ජයසිංහ මෙන්ම දක්ෂ තවත් මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකර ගැනීමේ අරමුණු පෙරදැරිව ගරු අමාත්‍යතුමන් විසින් මළල ක‍්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතාව සහ ජයසිංහ මහත්මියව අමාත්‍යාංශයට කැඳවා ඒවන විට පැවති මළළ ක‍්‍රීඩා සංචිත 3හි පුහුණු කිරීම් හා උපදේශන සහය ලබාදෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය. නමුත් මේ මොහොත වනතුරුත් ජයසිංහ මහත්මිය එම සේවය මෙරට මළල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත ලබාදී නැත.

2016 ජුලි මස සිට 2017 මාර්තු දක්වා ඇය වෙත ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් අඛණ්ඩව වැටුප් ගෙවීම සිදුකර ඇත. නමුත් උක්ත ඡේදවල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සුසන්තිකා ජයසිංහ මහත්මිය දිගින් දිගටම අපොහොසත් වී ඇත. 2017 ජනවාරි මාර්තු කාලසීමාවේ ජයසිංහ මහත්මිය රෝගීව සිටි අතර සානුකම්පිතව සළකා එම කාල සීමාවට අදාළ වැටුප්  ගෙවීමට ද අප අමාත්‍යාංශය කටයුතු කර ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඉහත දැක්වූ 08වන ජේදයේ අවශ්‍යතා දිගින් දිගටම ඉටු නොකිරීම මත 2017 අපේ‍්‍රල් මාසයේ සිට ඉදිරි ගෙවීම් සිදුකිරීම පිණිස අදාළ වාර්තාවන් මාසිකව ඉදිරිපත් කරන ලෙස 2017 අපේ‍්‍රල් 26 වන දින ජයසිංහ මහත්මිය වෙත ලිපියක් යවමින් අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනුවත් කර ඇත.

රජයේ අමාත්‍යාංශයක් ලෙස සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත අප ගෙවූ දීමනාවන් යනු මුළුමනින්ම මෙරට මහජනතාවගේ මුදල්ය. මහජන මුදල්වලට නිසි වටිනාකමක් ලැබෙන අයුරින් ජයසිංහ මහත්මිය වෙත ලබාදීම අප සතු වගකීමක් වන අතර එම මුදලට ලබාදිය යුතු සේවාව මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත නිසි පරිදි ලබාදීම ජයසිංහ මහත්මිය සතු වගකීමකි. ඇය විසින් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබ`ද තැකීමක් නොකර, අමාත්‍ය මණ්ඩල තීරණ ප‍්‍රකාරව කාර්ය සාධන වාර්තා ලබා නොගෙන මූල්‍ය දීමනාවන් ලබාදීමට අපට කිසි`දු නෛතික හෝ සදාචාර හිමිකමක් නොමැත.

තමන් යම් ආර්ථික අපහසුතාවක පසුවේ නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොව, රජය විසින් ඇය වෙත ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඉන් ගෞරවන්විත වැටුපක් ද ලබමින් ක‍්‍රීඩාවටත් මවුබිමටත් ලබාදිය යුතු සේවය නොපැකිළිව ලබාදීමයි. ඒ වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දොරටුව තවදුරටත් විවෘතව පවතී. ඇය වැනි තවත් අතිදක්ෂ ක‍්‍රීඩා තරුවක් හෙට දිනයේ අප මවුබිමෙහි බිහිකර ගැන්මට, ක‍්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව තම මෙහෙවර ලබාදෙන මෙන් සුසන්තිකා ජයසිංහ මහත්මියගෙන් ගෞරවන්විතව ඉල්ලා සිටිමි.