පුංචි පුංචි කළු පැල්ලම් හේතුවෙන් සමස්ත හමුදාවේ කීර්ති නාමය පළුදුවීමට ඉඩ තැබිය නොහැකි බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පසුගියදා නිමාවූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32වන සැසිවාරයට සහභාගිවීමෙන් අනතුරුව එහි ප්‍රගතිය පිළිබඳ කරුණු දක්වමින් අමාත්‍යවරයා අද(06)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

හමුදාවේ ඇතැම් පිරිස් වේවා ආණ්ඩුවේ ඇතැම් පිරිස් වේවා රටේ කීර්ති නාමයට කැළැලක් වන ලෙස යම් අපරාධයක් කර ඇත්නම් ඔවුන්ට දඬුවම් හිමිවිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ප්‍රේමවතී මනම්පේරී සිද්ධි‍යේදීත් මේ ආකාරයට වැරදිකරුවන්ට දඬුවම් ලබාදුන් බව ඔහු සිහිපත් කළේය.

අහිංසක මිනිසුන් මරාදමන විකෘති මානසිකත්වයෙන් යුතු හමුදාවක් අපට නොමැති බවත්,කිසිවෙකු හෝ අපරාධයක් කර ඇත්නම් ඒ ඉහළින් පැමිණි නියෝගයක් නිසා බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම සිදුවීම් පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකිරීමේ වැදගත්කම පැහැදිලි කළේය.

එලෙස නිසි පරීක්ෂණයක් සිදුකොට වගකිව යුත්තන්ට දඬුවම් කළ යුතු බව සමරවීර මහතා අවධාරණය කළේය.

අතුරුදහන් වූවන් පිළිබඳ සොයාබැලීමේ කමිටුවක් පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්,එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එළඹෙන සැප්තැම්බර් මාසය වන විට කොමිසම පිහිටුවන බවත්,එයින් සත්‍ය දැනගැනීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අතුරුදහන් වූවේ උතුරේ පමණක් නොව දකුණේද එසේ සිදුවුණු බවත්, ඒ සියලුදෙනා වෙනුවෙන් සාධාණය ඉටුවිය යුතු බවත් ඔහු පෙන්වාදුන්නේය.

සත්‍යය දැනගැනීම,සාධාරණත්වය,හානිපූරණය යන ප්‍රධාන කුලුණු තුන මත මෙම කටයුතු සිදුවිය යුතු බවත්,එසේ නොමැතිව රටට අනාගත දැක්මක් සහිතව ඉදිරියට යා නොහැකි බවත්,එසේ නොවුනහොත් හැමදාමත් කොරියාව-සිංගප්පූරුව වැනි රටවල් ගැන කතු වැකි ලිය ලියා සිටීමට සිදුවනු ඇති බවත් මංගල සමරවීර මහතා කියා සිටියේය.

වසර 68ට පසු මේ උදාවී ඇත්තේ රටේ ගමන්මග හොඳ දිශානතියකට තල්ලු කළ හැකි මහඟු අවස්ථාවක් බවත්,උතුරේ අන්තවාදය පරාජය වී මධ්‍යස්ථවාදීන් ජයග්‍රහණය කර ඇති බවත්,දකුණේ රාජපක්ෂලා ප්‍රමුඛ කොටගත් අන්තවාදීන් පරාජය කොට මධ්‍යස්ථාවාදීන් ජයග්‍රහණය කර ඇති බවත් එම නිසාම මේ මොහොතේ සංහිඳියාව හා ප්‍රතිසන්ධානය වෙනුවෙන් තැබිය හැකි පියවර අන් කවර අවස්ථාවකවත් උදානොවනු ඇති බව සමරවීර මහතා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32වන සැසිවාරය තුළින් තවදුරටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ කීර්තිමත් රටක් ලෙස සලකුණු කළ හැකිවුණු බවත්,පසුගිය රජය සමයේ මෙම සමුළුවට ගියේ ගමේ ගොඩේ චන්ඩින්,මැරයින් නිසා ඒ අයට අවවාද කරන්නට පවා ජගත් මානව හිමිකම් මහකොමසාරිස්ට සිදුවුණු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ඔක්තෝම්බර් මස 1 වන දින ගෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකාවට සිදුවූයේද එම නිසා බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවර අධිකරණ අමාත්‍යවරයා හා තමන් රටේ සිදුකරමින් පවත්නා සුබවාදී කටයුතු පිළිබඳ විධිමත් ලෙස ජාත්‍යන්තරය දැනුවත් කළ බවත්,එමගින් ජාත්‍යන්තරයේ ප්‍රසාදය හිමිවූ බවත් පැවසීය.

මෙවර සැසිවාරයේදී ඩයස්පෝරාවේ අන්තවාදී අදහස් දරන අයටද අදහස් දැක්වීමට අවස්ථාව ලබාදුන් බවත්,ඒ තුළින් ඔවුන්ගේ හඬටද ප්‍රජාතන්ත්‍රීය ලෙස ඇහුන්කන්දීමෙන් ලෝකයට ආදර්ශයක් පෙන්නු බවත්,ගෝලීය ද්‍රවිඩ සංසදය වැනි සංවිධාන පවා මේවන විට ලංකාවේ සිදුකර ඇති සාධනීය වෙනස්කම් සම්බන්ධයෙන් ප්‍රසාදය පළකර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY