වර්තමාන හවුල් ආණ්ඩුවේ නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා බවට පත් වී සිටින්නේ සාගල රත්නායකය. සාගල රත්නායක ඇමතිවරයා බවට පත් වුවද රටේ නම ගිය ඇමතිවරයෙකු ලෙස කරළියට පැමිණෙන්නේ පොලිස්පති පූජිත ජයසුන්දරට ප‍්‍රසිද්ධ වේදිකාවක සර් කෙනෙකුගෙන් ලැබුණු ඇමතුමත් සමගිනි. ඒ සර් අන් කවරෙකු හෝ නොව ඇමති සාගල රත්නායක බව වැඩි කල් නොගොස්ම අනාවරණය විය. එතැන් පටන් ඇමති සාගල රත්නායකගේ නීතිය නැවීමේ සහ බැලන්ස් කිරීමේ ජවනිකා එකින් එක හෙළිදරව් වන්නේ වර්තමාන ආණ්ඩුව තුළ තවත් ප‍්‍රධාන ඩීල්කරුවෙකු බවට සාගල රත්නායක ඇමතිවරයා පත් කරවමිනි.

සියල්ලන්ටම හොර රහසේ සාගල ගෝඨා හමු වෙයි

සාගලගේ මේ ඩීල් අතරින් ගෝඨා සමග ඇති ඩීල් එක කරළියට නාවත් තිරය පිටුපස ජයටම කෙරීගෙන යන බව දැන් දැන් හෙළි වෙමින් තිබේ. ගෝඨාභය රහස් පොලිසිය විසින් ප‍්‍රශ්න කිරීමට පෙර ඒ සූදානම පිළිබඳ තොරතුරු ගෝඨාභයට හෙලිකරමින් සාගල රත්නායක ගෝඨා සහ ඔහුගේ නීතිඥයන් සහ හිතවතුන් පිරිසක් හමුවී ඇත්තේ ගෝඨා ප‍්‍රශ්න කළ දිනට සති කිහිපයකට පෙර දී එක්තරා රාත‍්‍රියකය. ස්ථානය වූයේ ගෝඨාභයට ඉතාමත්ම හිතවත්, ඔහුගේ නීති කටයුතු සඳහා පෙනී සිටින, රටම දන්නා නීතිඥවරයෙකුගේ නිවසය. මේ නීතිඥවරයා නීතිඥ සංගමයේද උප ප‍්‍රධාන නිලයක් දරන අයෙකි. සාකච්ඡාව සඳහා ගෝඨා සමග 8 දෙනෙකු සහභාගී වූහ. සාකච්ඡාවේ පහසුකම් සපයන්නා මෙන්ම රහස්‍ය භාවය සැලසුම් කළ පුද්ගලයා වූයේ තවමත් සක‍්‍රීය රාජකාරියේ යෙදෙන යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල් මහතන්තිල නමැත්තාය. ඔහු එළියේ හිඳිමින් ආරක්ෂාව සහ රහස්‍ය භාවය සැලසුවා මිස සාකච්ඡාවට සහභාගී වූයේ නැත.

මෙකී ලුතිනන් කර්නල් මහතන්තිල යනු හමුදා බුද්ධි අංශය තුල සිටින ගෝඨාභයගේ ඔත්තු කරුවෙක් බව තතු දන්නෝ පවසති. සාගල රත්නායක ගෝඨා සමග කළ රහස්‍ය සාකච්ඡාව මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි කාලයේ ඔහුගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා වූ නමුත් මෙතෙක් කිසිදු පරීක්ෂණයකින් තොරව ගැලවී සිටින ගාමිණී සෙනරත් සමග ද රහසිගත සාකච්ඡාවක් පැවැත්වූ බවටද තොරතුරු ලැබෙමින් තිබේ. එකී සාකච්ඡාව කොළඹ ප‍්‍රධාන පෙළේ හෝටලයකදී පැවැති අතර ඊට රාජපක්ෂ රෙජීමයේ ප‍්‍රබලයෙකු වූ ටැක්සි අබේ නමැත්තා ද සහභාගී වී සිටියේය.

මෙවැනි ඩීල් සඳහා සාගල රත්නායක ඇමතිවරයා රටේ නීතිය අවභාවිතා කරමින් තමන්ට නීතියෙන් අවසරයක් නැති ආරක්ෂාවක් මහජන මුදලින් නීති විරෝධීව ලබා ගෙන තිබෙන බවටද තොරතුරු හෙළිදරව් වී තිබේ.

සාමාන්‍ය ඇමතිවරයෙකු වන සාගල, අගමැතිවරයාගේ ආරක්ෂකයන් තම ආරක්ෂකයන් ලෙස මහජන මුදලින් විදේශ සංචාර වලටද රැගෙන ගොස් තිබේ. මීට අමතරව සාගල රටේ මග තොට ගමන් කරද්දී පවා අගමැති ආරක්ෂකයන් සහිත රථ 6ක් භාවිතා කරයි.

ජීවිත තර්ජනයක් පිලිබඳ ආරක්ෂක කවුන්සිලය අනුමත කිසිදු වාර්තාවක් නොමැති නමුත් තමන් පෙළෙන හුදු ප‍්‍රදර්ශන කාමයට හෝ හීනමානයට මහජන මුදලින් හිතූ හිතූ ආකාරයෙන් ආරක්ෂාව සැපයීමට රටේ නීතියෙන් ඉඩක් නැත. ජනාධිපති ආරක්ෂකයන් ආරක්ෂාව සැපයිය යුත්තේ ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයටය. අගමැතිවරයාගේ ආරක්ෂකයන් ආරක්ෂාව සැපයිය යුත්තේ අගමැතිවරයාට සහ ඔහුගේ පවුලේ අයටය. එසේනම් සාගලට අගමැති ආරක්ෂකයන් ගේ ආරක්ෂාව ලබා දීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීය. බලය අයුතු ලෙස භාවිතා කිරීමකි. ඇමැතිවරයෙකු සතු බලය අයුතු ලෙස භාවිතා කිරීම යනු සදාකාලිකවම ඔහුගේ ප‍්‍රජා අයිතිය අහෝසි විය හැකි වරදකි.

පිළියන්දල වෙඩිතැබීම යට ගැසීමේ සැලැස්මක්

පිළියන්දල මොරටු පාරේ පසුගියදා රාත‍්‍රී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වැටලීමක් සදහා ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමකට සිදුකල වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු හා දැරියක ජීවිතක්ෂයට පත්වී තවත් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය සාගල රත්නායක සිදු කරමින් සිටින්නේ ද ඩීල් එකක් බවට සාක්ෂි දැන් එකතු වෙමින් තිබේ.

සිදුවීම පිළිබඳ වාර්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානියා ලවා පවත්වා දින 3ක් ඇතුලත වාර්තාවක් දෙන්නැයි පොලිසිය බාර ඇමැති සාගල රත්නායක විසින් පොලිස්පතිවරයාට සිද්ධිය වූ සැනින් නියෝග කළ බව කීවද අද දක්වා පොලිස්පතිවරයා ඇමතිට දුන් වාර්තාවක් නැත. පරීක්ෂණ විශේෂ කාර්ය බලකා ප‍්‍රධානියාට පැවරුවේ ද නැත. අඩුම ගණනේ පොලිසියේ කීර්තිමත් අපරාධ පරීක්ෂණ අංශය වූ සීඅයිඩියට පරීක්ෂණ බාර දුන්නේ ද නැත. ප‍්‍රථමයෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන්ම පරීක්ෂණ පැවැත්වූ අතර පසුව පොලිස්පතිට හිතවත් සංවිධානාත්මක අපරාධ අංශය මගින් පරීක්ෂණ පැවැත්වීය.

මෙම ප‍්‍රහාරය කරා පොලිස් නිලධාරීන් රැගෙන ගිය සැක කටයුතු ඔත්තු කරුවා වූ නසාර් නමැත්තා මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලොක්කා වූ කමල් සිල්වාගේ සහ ඔහුට ඉතාම හිතවත් පොලිස් පරීක්ෂක විජේසේකර නමැත්තාගේ හිතවතෙක් බවත්, නසාර් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවත් සමාජ ජාල වෙබ් අඩවි වාර්තා කළේ පිළියන්දල ප‍්‍රහාරයෙන් දින 4කට පසුවය. වෙඩි තැබීමෙන් පසු කමල් සිල්වා විසින් නසාර්ට එන්නැයි කියා ප‍්‍රශ්න කර නිදහස් කර යැවූ බවද එවායේ සඳහන් විය. කෙසේ වුවද මේ වන විට නසාර් රටින් පිට කර තිබෙන බව හෙළි වී තිබේ.

මෙහි අපූරු විහිළුව නම් නසාර් බෝට්ටුවකින් පැන ගියා යයි කියමින් දැන් බෝට්ටුකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබීමයි. එසේ නම් ඊට පෙර අත් අඩංගුවට ගත යුත්තේ නසාර්ට එන්න කියා ප‍්‍රශ්න කර නිදහස් කර යැවූ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා නොවේද?

කෙසේ වුවද මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් නිලධාරියෙකු ඝාතනය කරමින් පොලිස් පරීක්ෂක රංගජීව ඇතුලු නිලධාරීන් 2 කට බරපතල තුවාල සිදුකරමින් සහ තවත් අහිංසක සිවිල් දැරියක නිකරුනේ ඝාතනය වූ පිළියන්දල වෙඩි තැබීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ යුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලොක්කා වූ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙකුට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ. මත්ද්‍රව්‍ය නාශක අංශයේ කමල් සිල්වාට ස්ථාන මාරු වීම ලබා දී ඇත්තේ පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධිය තවදුරටත් යට ගැහීමට පහසු වන ආකාරයට පොලිස් අපරාධ හා රථ වාහන අංශයටය.

අගමැතිගෙන් ආරක්ෂාව-මහින්දගෙන් උදව්

මේ අනුව බලන විට සාගල රත්නායක හැම තැනක් සමගම ඩීල් දමා ඇත. බලලා මල්ලෙන් එළියට පනිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම හිතවතුන් සමග මේ කතාව නොකියා කියා ඇත. “සාගල කියන්නෙ අපට හිතවත් කෙනෙක්. ඒ වගේ කෙනෙක් නීතිය හා සාමය ඇමතිධූරය වගේ තැනක ඉන්න එක අපි හැමෝටම හොදයි. අවශ්‍ය තොරතුරු අවශ්‍ය වෙලාවට අපිට ලැබෙනවා. ප‍්‍රභාත් නානායක්කාරගෙ ගෙදරදිත් මට සාගල ලගදි හම්බවුනා. ත්‍ක්‍ෂෘ එකේ රවී විද්‍යාලංකාර විතරයි සාගලට කන්ට්‍රෝල් නැත්තෙ. විද්‍යාලංකාර එක්ක ඞීල් කරන්නෙ මලික්. මලික් ට‍්‍රයි කරන්නෙ සාගලව එලවන්න. ඒවට ඉඩ දෙන්න හොද නෑ. අපි අනිවාර්යෙන්ම සාගලව ආරක්ෂා කළ යුතුයි” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා විපක්ෂයේ තමන්ට හිතවත් මන්ත‍්‍රීවරුන් හා පැවති රැස්වීමකදී පවසා ඇත.

එම කරුණ වඩාත් හොදින් තහවුරු වන්නේ පොලිස්පතිවරයාට සාගල ලබාදුන් දුරකතන ඇමතුම සම්බන්ධයෙන් සපුරා නිහඬ පිලිවෙතක් මහින්ද පාර්ශ්වය අනුගමනය කිරීම විමසා බැලූ විටය.

කෙසේ වුවද අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයාගේ තීරණය වී ඇත්තේ රාජපක්ෂලා සමග යටින් ගණුදෙනු කරන ඇමතිවරුන් ඉවත් කිරීම සඳහා ඇමතිමණ්ඩල සංශෝධනයක් ඉතා ඉක්මනින්කළ යුතු බවයි.

එහෙත් සාගලගේ අලුත් ඩීල්වලින් එම ඇමති සංශෝධනයෙන්ද ගැලවීමට ඔහු සමත් විය. ඒ අනුව පැහැදිළි වන කරුණ වන්නේ සාගලගේ ඩීල් ඔහුගේ පෞද්ගලික හිතූමනාපයට පමණක් සිදු වන ඒවා පමණක් නොව ඒවාට අගමැතිවරයා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන්ගේ පූර්ණ ආශිර්වාදයද නොඅඩුව ලැබෙන බව නොවේද?

source – .lankatruth.com