ආදරණීය පියාණන් වෙත ඉතාමත් ආදරයෙන් ලියමි.88-89 භීෂණ යුගයේ ඔබේ රැකවරණය මත ජීවිතය ආරම්භ කල මා මේ රටේ ඉහලම තනතුර දරන්නාගේ පුත්‍රයා වීමේ ආඩම්බරය තවමත් හිත ඇතුලේ පිරී තිබෙන බව මුලින්ම කිව යුතුය.ඔබ එදා හෙට දවස සැලසුම් කර බිත්ති කාමර හතර තුල අද මමද මගේ හෙට දවස සැලසුම් කරමින් සිටී.නමුත් ඔබට තිබූ,මට නොමැති වූ ඇතැම් ගුණාංගයන් නිසාවෙන්ම අද මම “හිටපු ජනාධිපතිතුමාගේ “පුතා වී තිබේ.

දයාබර පියාණෙනි..මට කොහේ හෝ වැරදුන බව මට වඩා හොඳට ඔබ දනී.එහෙත් අප දෙදෙනාගේම කරුමයට අප වටා සිටි එවුන් අප දෙදෙනා වලට වැටෙන විටත් ඇස් කන් වසාගෙන සිටි නිසාම තවමත් අප දෙදෙනාට මේ වලෙන් ගොඩ ඒමට නොහැකිව තිබේ.ඔබ රටට දෙවෙනි නිදහස ගෙනදුන් පියාය.එහෙත් මා දළඳා මාලිගාව වටා රේස් පදින විට,සල්මන් කාන්ලා ජැකලින්ලා ගෙනවිත් ජෝගි නටනවිට මා ඉන් මුදා ගැනීමට ඔබට නොහැකිවීම ගැන මා අදද දුක් වන්නෙමි පියාණෙනි..

නීතීවේදියෙකු වුවත් නීතිය මට තවමත් නුහුරුය.ගමේ කමට ඒ නිසාම මමද පසුගියදා පාරට බැස්සෙමි.ඒ නිසාම අද මට කූඩු වන්නට විය.එහෙත් මේ දේශපාලනය ගේම් එකකි.ඒ තුළ සටන් පාට නොමැතිව හිටපු අපේ විමල් අයියලාට,ගම්මන්පිල අයියලාට හොඳ සටන් පාට හොයා දෙන්නට මට  පුලුවන් විය.අද ඔවුන් ඒ සටන් පාට නිසා එලියට වී කීයක් හෝ හම්බ කරගනී.ඒ  නිසාම අද මා ගැන වඩාත් ආඩමබර වන්නේ මා නොව ඔබ වියයුතුය.තවකෙකුට ජීවත් වීමට අත හිත දීමය එනිසාම මට හැකිවිය.

එදා අරලියගහ මැදුරේ දොරෙන් හිස නවාගෙන ඔබේ දෙපය අසලට පැමිණි  ශ්‍රීලනිපයේ ඇමතිවරු අදටත් ඇමතිවරුමය.එහෙත් ඔවුන්ගේ ජනපති වූ ඔබ අද හිටපු ජනපතිය.අවුරුදු 12ක් ඔවුන්ට පාලන බලය හිමිකරදුන් ඔබ අද ඔවුනට වහ කඳුරු විය.

ආදරණීය පියාණෙනි..කොතනක හෝ මට වැරදුනු බව දැන් මා දනී.එනිසාම එදා පාන්දර 2-3 වෙනකල් අරලියගහ මැදුරේ පාටි දැමූ මා අද මහ දවල් 2-3 ටත් ගමේ කොල්ලෝ කුරුට්ටන් සමඟ කැරම් ගසයි.එක්කෝ දාදු කෙලියේය.

සැන්ඩි කර ගන්නා රට බීම ට වඩා,ගමේ ගොඩේ තැඹිලි ගෙඩිය රසවත්‍ ය.ඒ බව මට වැටහුනේ ඔබට ජනපති පුටුව අහිමිවුණු පසුවය.ඉතින් පියාණෙනි..ලියන්නට බොහෝ දේ ඇත.අදට සමගන්නෙමි.මීට ඔබෙ දෙටු පුත් නාමල්….නීතීවේදී ,පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ..

අන්තර්ජාලය ඇසුරෙනි