මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින වෙලේ සුදා සහ සුසේ නැමැත්තා බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලබන මත්කුඩු ජාවාරමක් පිළිබඳ විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

අද (22) අළුයම කොළඹදී හෙරොයින් කිලෝ එකක් සමග තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ එම විමර්ශනවලදී අනාවරණ කර ගත් තොරතුරු අනුව බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක කොටසක් ලෙස සැලකෙන මෙම සිද්ධිය සම්බන්ධව තවදුරටත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විමර්ශන සිදු කරන බවද පොලිස් මූලස්ථානය පැවසුවා.

හැව්ලොක් ටවුන් මහල් නිවාසයකට යමින් සිටි අවස්ථාවේදී අද අළුයම අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර අශෝකන් රුක්ෂාන් හෙවත් රුක්ෂාන් නැමැත්තා ද වනවා. ඔහු වෙලේ සුදාගේ මත්කුඩු ජාවාරමේ ප‍්‍රධාන බෙදාහරින්නා බවයි පැවසෙන්නේ.

සැකකරුවන්  සතුව තිබූ රුපියල් ලක්ෂ 07කට අධික මුදලක් සහ වාහන දෙකක්ද මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

LEAVE A REPLY