ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ශ්‍රීලනිපය කිසිසේත්ම ඉඩ නොදෙන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එවැන්නක් සඳහා ඡන්දය ප්‍රකාශ නොකරන බව අමාත්‍යවරයා කියා සිටියේ අද(29)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එබැවින් පසුගියදා උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන්ගේ ප්‍රධානත්වයෙන්  යාපනයේ පැවති  “එළුහ තමිල්” විරෝධතාවයේදී ඔහු කළ ජාතිවාදී ප්‍රකාශයට කුලප්පු විය යුතු නැති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

විග්නේශ්වරන්ගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙළාදකින බවත්, එවන් ප්‍රකාශයන් දකුණේ ජාතිවාදීන්ට උඩගෙඩිදීමක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේවන විට ද්‍රවිඩ ඩයස් පෝරාව දෙකට බෙදී ඇති බවත්, එක් පාර්ශවයක් ජාතීන් සහජීවනයෙන් යුතුව එකට සිටිය යුතු යයි මතයක සිටින විට අනෙක් පාර්ශවය ප්‍රභාකරන්ගේ මතය ඉදිරියට ගෙනයන බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

විග්නේශ්වරන් විසින් මෙවන් ප්‍රකාශ සිදුකිරීමට හේතුවද එය බව ඔහු අවධාරණය කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණවලදී මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුව ඇති බවත්,ප්‍රධාන අමාත්‍යවරුන් මේ ආකාරයට බෙදුම්වාදයට උඩගෙඩිදෙන ප්‍රකාශ නිකුත් කරන්නේනම් එය විශාල ප්‍රශ්නයක් වනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.