භාණ්ඩාගාරය තුළ තම තත්ත්වය තහවරු කරගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වී ඇතැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කියා සිටියි.

වත්මන් දේශපාලන තත්වය ගැන ඔහු වැඩිදුරටත් මෙසේද පවසයි. ” මට පෙනෙන හැටියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙනම පිරිසක් හැටියට මහින්දගේ පාර්ශවය සිටියත්, ඒ අය වෙන්වීමක් නිර්මාණය කරගන්නේ නැත. ඒක ඒ අයට අවාසිවන බව ඒ අය දනිති. මක්නිසා ද යත් පසු ගිය කාලයේ පක්ෂයෙන් ඉවත් වී ජනතාව අතරට යන්නට දැරූ උත්සහායේ අසාර්ථකත්වය පිලිබඳ අත්දැකීමක් ඔවුන්ට තිබේ. ඒ වගේම ඒ අයට තිබෙන නඩු සංඛ්‍යාව දෙස බැලීමේ දී මේ මොහොතේ වෙන්වීම අනතුරුදායක බව ඒ අය දනිති.

ඒ නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කියන කූඩුවේ රැඳි සිටීම ඒ අයට ආරක්ෂාවට මෙන්ම පක්ෂය තුළ බලපෑම් කිරීමට මෙන්ම ඒ තුළ රැඳි සිටිමින් ආණ්ඩුව තුළ අවුලක් ඇති කිරීම යි ඔවුන් කරන්නේ. මහ බැංකුවේ සිද්ධියත් මුල සිටම ගැටුමකට තල්ලු කළේ ඒ පිරිස ය. ඒ අය හිතන හැටියට ඒකෙන් කිසියම් වාසියකුත් ලැබුණු හැටියට ඔවුහු කල්පනා කරති. නමුත් ඇත්තටම එහෙම වුණේ නැත. රනිල් වික්‍රමසිංහගේ වැඩපිළවෙලට හිතවත් කෙනෙක් තමයි දැනටත් පත්වෙලා සිටින්නේ. රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරය අත්හරින්නේ නැත.

ඕනෑම සටනක දී භාණ්ඩාගාරය අල්ලා ගන්නට තමයි ප්‍රධාන සටන තිබෙන්නේ. පැරිස් කොමියුන් එක වෙලාවේ දී ඒ ගොල්ලන් කළ වැරදිම දේ තමයි භාණ්ඩාගාරයේ බලය අතට නොගැනීම බව මාක්ස් පැවසී ය. දෙදෙනා අතර අරගලයක් නැහැ : ඒ නිසා මෙතන දී රනිල් එයාගේ තත්ත්වය තහවුරු කරගැනීමට සමත් වී ඇත. විරුද්ධ පාර්ශවයට ඕනෑ ආකාරයට භාණ්ඩාගාරයට එක් එක දේවල් ඇතුල් කරගන්නට හැකිවෙන තත්ත්වයක් නැත. නමුත් දැන් ඇතුලතින් තව තව එක එක වෙට්ටු දමමින් ක්‍රියාත්මක වෙන එක තමයි ඒ අය කරන්නේ.

එතන දී මේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ගත්ත පියවර ඉදිරියට තබන එක අවුල් කරන්නට ඒ අය මාන බලති. ව්‍යවස්ථාව වෙනස් කිරීම කියන එක පමනක් නොව වැට් බද්ද වුනත්, ඒකේ ඇත්ත තත්ත්වයට වඩා වෙනස් කර පෙන්වා එම බද්ද බලනොපාන කොටස් පවා සංවිධානය කර පාර බස්සවා තිබේ. ඒ නිසා මානව අයිතිවාසිකම් වැනි ප්‍රශ්න විසඳිම මෙන්ම ජාතික ප්‍රශ්නය විසඳිම වගේ දේවල් කඩා කප්පල් කිරීමට ඒ අය උත්සහ දරති. මෙතන දී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමා සමග තියෙන සම්බන්ධය තහවුරු කරගැනීම හැර නායකයින් දෙදෙනා දැඩි ලෙස මේකට ප්‍රතික්‍රියා කරන්නේ නැත. දැන් මහබැංකුවේ ප්‍රශ්නයේ දීත්, හැකි තරම් සාකච්ඡාවෙන් ප්‍රශ්නය විසඳා ගන්නට හැදුවා මිසක එය දෙදෙනා අතර අරගලයක් බවට පරිවර්තනය කරගත්තේ නැත මෙහෙම ඉදිරියට යන්නට නොහැක : නමුත් මෙහෙම ඉදිරියට යන්නට නොහැක. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි සැළැස්ම ගෙනියන්නට නම් හැප්පෙන්නට සිදුවේ. ඒ සඳහා සූදානම් විය යුතුව තිබේ.

දැන් මෙතන දී බලයක් නැතත් වමට කිසියම් කාර්යක් ඇත. මේ වෙලාවේ රනිල්ගේ සමාජ ධනවාදය සූත්‍රගත කිරීමත් සමග රැඳි සිටිමින් ප්‍රතිගාමිත්වයට මුහුණ දුන්නොත් තමයි අපිට මාර්ගය විවර කරගන්නට ලැබෙන්නේ. නැති නම් ඒ දොර වැසී යන්නේ ය. දැනට සාමාන්‍යයෙන් වාමාංශිකයින් වැඩිදෙනා මේ කටයුත්තේ යෙදී ඇත. නමුත් මෙයට වඩා අවබෝධයකින් හා සැළසුම් සහගතව එය කළ යුතු ය.

වාමාංශිකයින්ට පමණයි නිරවුල්ව මේකට මැදිහත් වෙන්නට හැකියාව තිබෙන්නේ. ඒක රනිල්ට ද භාරගන්නට සිදුවේ. වමත් ඒ වගකීම භාර ගන්නවා ද යන ප්‍රශ්නයක් ද ඇත. සමහර වාමාංශිකයින් එසේ වැඩකරන අතර ම ජනතාව කෑ ගහනවිට කිසිදු වග විභාගයක් නැතිව ඒ පස්සේ ද දුවති.

අපි එහෙම කර හරියන්නේ නැත. විවිධ දේවල් ගැන කෑ ගහන ජනතාව සාධාරණ දේකට කෑ ගහනවා වෙන්නට පුළුවන. නමුත් අපි ඒව වේදිකාවක් කරගන්නවා නම් අපිම ඒකට මැදිහත්විය යුතු ය. විශ්වාස භාංග යෝජනාව : උදාහරණයක් ලෙස ගතහොත් ඒකාබද්ධ විපක්ෂය කියාගන්නා කණ්ඩායම විශ්වාස භාංග යෝජනාවක් ගෙනාවේ ය. ජනතා විමුක්ති පෙරමුණට මම කිව්වේ අවශ්‍ය නම් විශ්වාස භංගය තමන්ට ම ගෙනෙන්නට තිබුණු බව ය. ඒ අයට ඒ තුලින් ආණ්ඩුවට බලපෑමක් කරන්නට තිබුණි. එහෙම කලා නම් අර ප්‍රතිගාමීන්ට තැනක් නැති වේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කළ වැඩෙන් සිදුවූයේ ප්‍රතිගාමින්ව විරුද්ධ පක්ෂය බවට පත්කිරීම ය. වෙනත් ආකාරයකට කියන්නේ නම් විරුද්ධ පක්ෂයක් තිබිය දී වෙනත් පිරිසකට එය භාරදීම ය. අන්න ඒකෙන් පෙනෙනවා අවශ්‍ය වේලාවට ආණ්ඩුවට විවේචනයක් කරන්නට යෑමේ දි පරිසරය අපේ අතේ තබාගත යුතු බව. ජාතිවාදි හවුල් කරුවන්ට ඉඩදීම කොයි පැත්තෙන් වූවත් එය අවාසනාවන්ත තත්ත්වයකි. ඒ නිසා වාමාංශික අයගේ වගකීම් ගැන කථාබහ කරලා කුමක් හෝ දෙයක් කළයුතුය. වමේ සිටින කට්ටිවාදි අයට නම් ඒ ගැන අවබෝධයක් නැත. නමුත් පලල් වාමාංශිකයින් ප්‍රජාත්න්ත්‍රවාදීන් සහ ලිබරල්වාදීන් සමග යම් සම්මුතියක සිටිමින් කටයුතු කළයුතුය කියන පිරිසක් ද සිටිති. ජනතා විමුක්ති පෙරමුණත් යම් ආකාරයකට ඒ තැනට කිට්ටු වෙලා ඉන්නේ. ඒ අයටත් බලපෑමක් කරන්නට අපිට හැකි නම් අර වාගේ වැරදී තීරණවලට යන එක වළක්වා ගන්නට පුළුවන. ජාතිවාදය මුසුකරගෙන සටන් : දැන් හැම ප්‍රශ්නයකදී ම ජාතිවාදය මුසුකරගෙන සටන් මතු කරන්නට උත්සහ දරන බව අපි තේරුම්ගත යුතු ය. ඔය වෛද්‍යවරුන් ගේ සටන බලන්න. අපි 88- 89 යන කාලවලදී ද ඔය වාගේ ඒවා අපි දුටුවෙමු. මේ ආකාරයට එකින් එක අරගෙන ප්‍රශ්න සියල්ලම ජාතිවාදය සහ ආගම්වාදය සමග මුසුකර තරුණයින්ගේ කැරැල්ලකට තමයි ඔය සැරසෙන්නේ.

ඒ කැරැල්ලේ තුන් වෙනි එඩිෂන් එක මේ එන්නේ. මේකට ඇතුල් වන සමහර වාමංශිකයෝ ද සිටිති. නමුත් ඒක කරන්නට වෙනදාට වඩා අද අපහසු ය. ජාතිවාදය ඒ ආකාරයටම අද අවුස්සන්නට ද පහසු නැත. ඒ වගේම මේ ආණ්ඩුව රැකගත යුතුය කියන සුලු ජාතිකයින් වැඩි උනන්දුවකින් සිටිති. ඒ අය සංවිධානය වන අතර මොනවා උනත් ආණ්ඩුව ආරක්ෂා කළයුතුය කියන තැන ඒ අය සිටිති. ඒක තමයි ආණ්ඩුවට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට තිබෙන ශක්ති ය. ඒ අයට හොඳට සුවඳ දැනෙනවා මහින්ද රාජක්ෂ නඩය මොකට ද සුදුනම් වන්නේ යන්න. සතුරු කඳවුර ගැන අවබෝධයක් : මෙතනදි ජනාධිපතිවරයා පිරිසිදු චරිතයක් හැටියට රගපාන්නට උත්සහා දරන බව පෙනෙන්නට ඇත. ඔහු හිතාමතා මේ ප්‍රජාතන්ත්‍රවාදී ගමනෙන් කැඩී ගොස් ලිබරල් වැඩ පිළවෙල කඩාකප්පල් කර ප්‍රතිගාමි ජාතිවාදින්ට ඉඩදෙයි කියා මා හිතන්නේ නැත. ඔහුගේ සතුරු කඳවුර ගැන එයාට අවබෝධයක් තිබේ. ඒ පුද්ගලයින් කවුද යන්නත් එයාට අවබෝධයක් ඇත. එයා තදින්ම ඒ අයට පහරදෙන ආකාරයෙන් ඒ බව තේරුම්ගත හැක.

එයා දැන් ලබාගෙන තිබෙන අත්දැකිම් වලින් එයාට ගැලවෙන්නට ද නොහැක. ඒ නිසා ජනාධිපතිවරයා මේ ගමනට බාධාවක් වන්නේ නැත. මම හිතන ආකාරයට එයා පාඩම් ඉගෙනගෙන කටයුතු කරන අයෙකි. එයා ඇත්තටම ඉගෙන ගන්නට කැමති අයෙක් බව පෙනේ. මට පේන හැටියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හොඳ කොටසක් එයා තෝරා ගන්නට බලන බව පැහැදිළි ය. ඒක කරන්නට හැකිනම් එහි ඇති වරදක් නැත. අර ප්‍රතිගාමින්ට ඒක තුළින් ඉදිරියට එන්නට ඉඩ දී තිබිම තමයි තිබෙන දුර්වලකම. නැත්නම් වැරැද්ද. මහබැංකු ජවනිකාවේ දී ත්, එක්තරා තත්තවයක් පැමිණි නමුත් ඔහු අවසානයේ දි ඒ අය කියන දේවලට යටත් වූයේ නැත. බදුල්ලෙන් ආරම්භ කළ නාඩගමටත් ඔහු තදින් පහර දෙන්නට පටන්ගෙන ඇත. ඒ අනුව මොකාටද මේ එන්නට හදන්නේ යන්න ඔහු හඳුණාගෙන තිබේ. අපි ඒ ගැටුම උත්සන්න කරන්නට වැඩකළ යුතු ය.

LEAVE A REPLY