වැරැද්දට රජකාලේ ලබාදී තිබූ අපූරු දඬුවම් පිළිබඳව ඉතිහාස කතාවල සඳහන් වෙයි. උලේ හිටුවීම, ඇසේ සිට පට්ට ගැසීම මෙවැනි දඬුවම් ඒ අතරය. එහෙත් කාලයත් සමඟ මේ දඬුවම් ඉතිහාසයටම එක්වී තිබිණි. මෙම ලිපියේ ආරම්භයේ දඬුවම් ගැන සඳහන් කිරීමට හේතුවූ කරුණක් ඇත. එනම් මේ රටේ සිදුවූ මහා පරිමාණයේ වංචාවකට කිසිදු දඬුවමක් නොවීම පිළිබඳව සඳහන් කිරීම සඳහාය. විවිධ අංශවල, විවිධ තරාතිරම්වල නිලධාරීන් අතර රාජ්‍ය දේපළ පිළිබඳව වංචනික ක‍්‍රියා සිදුවීම රටට විවෘත රහසකි. බොහෝ විට හොරා කවුදැයි හොඳාකාරවම දැන සිටියත් ඔප්පු කිරීමට අවස්ථාවක් නොමැත. ඒ තරමටම සූක්‍ෂමව වංචාව, හොරකම කරනු ලබන අවස්ථා බොහෝය. ඉඳහිට එක් අයෙක් දෙන්නෙක් දඬුවම් ලැබූ අවස්ථා පිළිබඳව අසන්නට ලැබෙයි. කවුරු දුෂණ, වංචාවලට සම්බන්ධ වුවත් දඬුවම රටේ ජනතාවට විඳීමට අද සිදුවී ඇත.

මේ රටේ විශාලම වංචනික ගනුදෙනුවටත් ලැබී ඇත්තේ එම ප‍්‍රතිඵලමය. ගනුදෙනුව නිසා සිදුවූ පාඩුව අති විශාලය. පාඩුව සම්බන්ධයෙන් නිල වශයෙන් සංඛ්‍යාලේඛන කිසිදු ස්ථානයක සටහන්වී නැතත්, ඉරිදා ලංකාදීපයට දැන ගන්නට ඇති පරිදි එම පාඩුව දැනට ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1668 කි. මේ මුදල තිබුණේ නම් රුපියල් 500/= බැගින් පුද්ගලයන් 3,33,60000 කට මහජන ආධාර ලෙස ලබාදිය හැකිය. අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලබන සිසුන්ගේ දීමනාව වැඩි කිරීමට හැකිවනු ඇත. පාසල්වලට ලැප්ටොප් පරිගණක 166800 ක් ලබාදීමට හැකිවනු ඇත. තවත් කළ හැකි දෑ බොහෝය.

මේ සම්බන්ධයෙන් ගනුදෙනුවට අදාළ එක් පාර්ශ්වයක් ශ්‍රී ලංකා රජයට එරෙහිව ලන්ඩනයේදී නඩු පැවරූ අතර විශාල වන්දියක් ගෙවීමට රජයට නියම විය. නඩු තීන්දුවට රජය අභියාචනා කරන බව පැවසීමෙන් අනතුරුව ලන්ඩන් නුවර වාණිජ අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇත. අභියාචනාධිකරණයේදී ශ්‍රී ලංකාවට වාසිදායක තීන්දුවක් ලබා දුන්නොත් ගැටලූවක් නොවේ. ලංකාවට අවාසිදායක තීන්දුවක් ලැබුණොත් ඒ ගෙවීම් කරන්නේ කවුද? හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් ප‍්‍රථමයෙන් කතා බහට ලක්වීම පිළිබඳව සඳහන් වන්නේ 2006 සැප්තැම්බර් 14 වැනි දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද පත‍්‍රිකාවකිනි.

එය මෙසේය. ”න්‍යාය පත‍්‍රයේ විෂයයන් සාකච්ඡුාවට ගැනීමට පෙරාතුව, ජනාධිපතිතුමාගේ ආරාධනය මත, සිය නිලධාරීන් දෙදෙනකුගේ සහාය ඇතිව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් ”ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ ස්ථායිතාවය පවත්වා ගැනීම” පිළිබඳව දෘෂ්‍ය ආධාරක සහිතව ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. ඒ පිළිබඳව පත‍්‍රිකාවක් ද අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් වෙත පිළිගන්වන ලදී. ඉන් අනතුරුව සාකච්ඡුාවක් පැවැත්වුණු අතර, මහ බැංකුවේ අධිපති කළ ඉදිරිපත් කිරීමේදී යෝජනා කළ විකල්පයන් පිිළිබඳව තීරණයක් ගත හැකිවනු පිණිස, මෙම කරුණ, මහ බැංකුව, මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශය, ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ අදාළ අන් කවර හෝ ආයතනවලින් සැදුම්ලත් නිලධාරි කණ්ඩායමක් විසින් තවදුරටත් අධ්‍යයනය කර, අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කළයුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. මේ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලය මගින් විශේෂ කමිටුවක් පත් කර තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර මහ බැංකු අධිපතිවරුවන වයි.එම්.ඩබ්ලිව්.බී. වීරසේකර සහ ආචාර්ය එච්.එන්. තේනුවර, ලංකා බැංකුවේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරි සාලිය රාජකරුණා සහ මහජන බැංකුවේ ආයතනික ප‍්‍රධානී කපිල ආරියරත්න, ඛනිජ තෙල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කාන්ති විජේතුංග, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලලිත් කරුණාරත්න යන මහත්ම මහත්මීන් මෙම කමිටුව සඳහා මහා භාණ්ඩාගාරයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් පත් කරනු ලැබ තිබිණි. එම කමිටුව මගින් හෙජින් හඳුන්වාදීම පිළිබඳව විරෝධය නොදක්වන බව සඳහන් කැබිනට් පත‍්‍රිකාව 2007.1.31 වැනි දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. හෙජින් ගිවිසුම ආරම්භ කිරීමේ ඉතිහාසය සිදුවී ඇත්තේ ඒ ආකාරයටය. දැන් මේ හෙජින් ගිවිසුම රටට විශාල බරක් වී ඇත. ගිවිසුම වටා විවිධාකාරවූ කටකතා පැතිරී තිබිණි. රටට අති විශාල පාඩුවක් දැරීමට සිදුවනු ඇත.

ලන්ඩනයේ වාණිජ මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අභියාචනය ශ්‍රී ලංකාවට වාසි සහගත විනිශ්චයක් ලබා නොදුන්නොත්, රටට වාසියක් ලබා ගැනීමට ඉදිරිපත් කළ හෙජින් ගිවිසුම, රටට ශාපයක් වනු ඇත. ඒ ශාපයට වන්දි ගෙවිය යුතු වන්නේ හෙජින් ගිවිසුම ආරම්භ කිරීමට මූලික වූ සියලූම දෙනා බව තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සඳහන් කරයි. තෙල් සංස්ථාවේ කිසිදු සේවකයකු පුවත්පත්වලට අදහස් නොදැක්විය යුතු බවට එහි පාලනාධිකාරිය විසින් කරන ලද නියමය නිසා, මෙම වෘත්තීය සමිති නියෝජිතයාගේ නම සඳහන් කළ නොහැකිවී ඇත. ඒ ඔහුගේ වෘත්තීය ආරක්‍ෂාව සඳහාය. එම නියෝජිතයා සඳහන් කළ ආකාරයට හෙජින් ගිවිසුමේ ගෙවීම්වලට සම්බන්ධ පුද්ගලයන් සංඛ්‍යාව 50 ක් පමණ වේ. දළ වශයෙන් ගණන් බලද්දී එක් අයකු රුපියල් 33,3600000/= ක පමණ මුදලක් රට වෙනුවෙන් ගෙවිය යුතුය. හෙජින් ගිවිසුමට එළැඹෙන ලෙස ජනතාව ඉල්ලීමක් කළේද නැත. ජනතාවට සහන මිලට ඉන්ධන සැපයීම රජයක් සතු වගකීමකි. එහිදී යම් පිිරිසක් කෝටි ගණනින් මුදල් උපයා ගත හැකි උපාය මාර්ගවල යෙදිය යුතු නැත. අප රට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. අපට යාමට තවත් බොහෝ දුරක් ඇත.

හෙජින් ගිවිසුම නිසා සිදුවූ අලාභයේ වන්දි ගෙවිය යුත්තේ කවුද යනුවෙන් කළ විමසීමේදී එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා මෙසේ කීවේය. ගිවිසුමට මූලික වූ අය මෙම අලාභය හා වන්දිය ගෙවිය යුතු වෙනවා. එක පුද්ගලයකුට පමණක් වගකීම පැවරීම සුදුසු නැහැ. වගකීම එයට සම්බන්ධ සමූහයම බාර ගත යුතුයි. හෙජින් මේ රටේ දුෂිතම ගනුදෙනුවක්. රටේ ජනතාව මේවාට වන්දි ගෙවිය යුතු නැහැ.

හෙජින් යනු කුමක්ද?

වර්ෂ 2007, 2008 කාලවලදී තෙල් මිල සීග‍්‍රයෙන් ඉහළ යාමේ තත්ත්වයක් පැවතිණි. එම මිල ඉහළයාම, රටට වාසියක් කරගැනීම සඳහා ප‍්‍රධාන පෙළේ බැංකු හතරක් හා ඛනිජ තෙල් සංස්ථාව කිසියම් ගිවිසුමකට එළඹුණි. ගිවිසුමට එළඹි බැංකු හතර මෙසේය. සිටි බැංකුව ස්ටෑන්ඩර්ඞ් චාටඞ් බැංකුව ඩොයිෂ් බැංකුව සහ කොමර්ෂල් බැංකුව යි. ගිවිසුමට අනුව තෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 110 ක් ඉක්මවා යනවිට, එම 110 මිලට තෙල් බැරල් ලක්‍ෂ 2 ක් ගත යුතුය. තෙල් මිල ඇමෙරිකන් ඩොලර් 110 ට වඩා වැඩිවන විට මිල ස්ථාවරයේ වෙනසක් නොවේ. උදාහරණක් වශයෙන් තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 140 ක් වූ අවස්ථාවේදීත් සංස්ථාව තෙල් මිලදී ගත්තේ 110 ටමය. යම් ලෙසකින් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 110 ට වඩා අඩු වුවත්, සංස්ථාව තෙල් මිලදී ගත යුත්තේ 110 ටමය. උදාහරණයක් වශයෙන් තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80 කට අඩු විනි නම්, එවැනි අවස්ථාවලදීත් සංස්ථාව තෙල් ලබා ගත යුත්තේ 110 ක මිලකටමය. සංස්ථාව ලැබූ පාඩුව ස්ටෑන්ඩට් චාර්ටඞ් බැංකුව ලන්ඩනයේ වාණිජ මහාධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමෙන් පසු ඇමෙරිකානු ඩොලර් දස ලක්‍ෂ 162 ක මුදලක් ගෙවීමට සංස්ථාවට නියම කෙරිණි.

මෙම නඩුව වෙනුවෙන් නඩු ගාස්තු හා ගමන් වියදම් වශයෙන් රුපියල් දස ලක්‍ෂ 488 ක මුදලක් ගෙවීමට රජයට සිදුවී තිබිණි. මෙම මුදල ලන්ඩනයේ පැවැති අධිකරණ කටයුතුවලට නීතිපති දෙපාර්තමේන්තුවෙන් හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සහභාගි වූ නිලධාරීන් සඳහා ගමන් වියදම්, ඉඳුම්-හිටුම් හා නඩු ගාස්තු වශයෙනි. ඒ අනුව නඩු ගාස්තු හා ගමන් වියදම් සඳහා වැය වූ මුදලත් ලන්ඩනයේ වාණිජ අධිකරණයෙන් ගෙවීමට නියම කරන ලද මුදලත් (ඇමෙරිකානු ඩොලර් දස ලක්‍ෂ 162) ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 1620 කි. ඒ අනුව වැය වූ මුළු මුදල දළ වශයෙන් රුපියල් කෝටි 1668 ක් වශයෙන් (දඩ මුදල හා වැය කළ මුදලේ එකතුව) ගණන් බැලිය හැකිය.

 

ඉරිදා ලංකාදීපය

LEAVE A REPLY