මෙවර අය වැය සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ යෝජනා හා අදහස් ද ඇතුළත් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි මහතා පවසයි.

ශ්‍රීලනිප මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අප්පච්චි ගත් ණය ටික අම්මයි, බාප්පයි, දරුවෝ ටිකයි ගෙවාගෙන යන බවත්, ඒ කාලේ ගත් ණයවල රඟේ දැන් තේරෙන බවත්, අමාත්‍යවරයා එහිදී පැවසීය.

ආණ්ඩුවක් ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා  එම ණය පියවීම සඳහා කළමනාකරණය මැනවින් සිදුකරමින් අවශ්‍ය කටයුතු කරන බවත්, ඒ මහතා කීවේය.

එසේම ඉකුත් ආණ්ඩුව සමයේ මෙන් රාජබිය, චෝල බිය හා ගෝඨාභය බිය දැන් නැති බවද ජනාධිපතිවරයා ශ්‍රීලනිපය කැඩීයාමට නොදී පක්ෂය නිවැරදිව මෙහෙවන බවද, හෙතෙම පැවසීය.

මෙවර අය වැය සැකසීමේදී ශ්‍රීලනිපයේ අදහස් හා යෝජනාද ලබාදී ඇති බව පැවසූ අමාත්‍යවරයා තවුසෙකු සමීපයේ සිටි නාගයෙක් කාන්තාවක් විසින් දරමිටියක් බැඳීමට ගනිද්දී  පෙණය පුප්පන්නේ නැතිව සිටියාමක් මෙන් නොසිට අපි පෙණය පුප්පන බවද කියා සිටියේය.

එම මාධ්‍ය හමුව ඇමතු සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ මිහින් ලංකා ගුවන් සේවයේ පාඩුවක් නැති බවත්, එය නතර කිරීම අවාසිදායක බවත්, නිලධාරීන් විසින් ලබාදෙන තීන්දු තීරණ නිසා ජනපති අගමැති විසින් එම තීරණ ගෙන ඇති බවත්ය.

අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි පසු  ජනපතිද, අගමැතිද සමගින් මේ ගැන නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීවේය.

 

 

LEAVE A REPLY