විහාර දේවාල සඳහා මින් ඉදිරියට අලි ඇතුන් ලබා දෙන්නේ කැබිනට් අනුමැතියකින් පමණක් බව තිරසර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පවසා සිටියේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී ජනාධිපති අගමැති හා කැබිනට් මණ්ඩලය අනුමත කරනා ස්ථානවලට පමණක් මේ අලි ඇතුන් ලබා දෙන බවත් අලි ඇතුන් ලබා දෙන්නේ කමිටුවකින් බවත් වනජීවී ඇමැතිටවත් ඉදිරියේදී අලි ඇතුන් ලබාදිය නොහැකි බව ඇමැතිවරයා කීවේය.

විහාර දේවාලයන්හි පෙරහරවල් සඳහා යොදා ගැනීමට පුහුණු අලි සංචිතයක් පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද ඒ වෙනුවෙන් මේ වන විට අත්අඩංගුවේ සිටින අලි ඇතුන් යොදා නොගන්නා බව හෙතෙම පැවසුවේය.

මේ සම්බන්ධයෙන් හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන් සියලු දෙනා සමග සාකච්ඡා කළ බවද ඇමැතිවරයා පැවැසීය.

පෙරහරවල් සඳහා ලබාදීම සඳහා අවශ්‍ය තරම් අලි ඇතුන් තමන් සන්තකයේ සිටින බව කී ඇමැතිවරයා ඉදිරියේ පැවැත්වෙන පෙරහර සඳහා අලි ලබා දෙන බවද පැවැසීය.

ඉදිරියේදී පැවැත්වෙන කතරගම පෙරහැර, දළදා පෙරහර හා අලුත්නුවර විෂ්ණු දේවාලයේ පෙරහැර සඳහා පුහුණු කළ අලි ඇතුන් ලබා දෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

LEAVE A REPLY