ජනවාරි 08 දා පෙරළිය තුළ විවාදයට බඳුන් වූ කේන්ද්‍රීය ආයතනයක් වූයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තුළ සිදුවූයේ යයි චෝදනා කළ දූෂණ හා අක්‍රමිකතාවයන්ය.එම චෝදනාවල බරපතළභාවය නිසාම ආණ්ඩුව නීතිඥ ජේ සී වැලිඅමුණගෙන් සමන්විත ඒකපුද්ගල පරීක්ෂණ සභාවක් පිහිටුවා ශ්‍රී ලන්කන් සමාගමේ දූෂණ රාශියක් සමාජගත කිරීමට කටයුතු කර තිබිණි. නමුත් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් තබමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරි සුරේන් රත්වත්තේ කියා තිබුණේ වැලිඅමුණ වාර්තාව පදනම් විරහිත බවත්, ඒ නිසා ශ්‍රී ලන්කන් සමාගම එකී වැලිඅමුණ වාර්තාව පිළිනොගන්නා බවත්ය. සභාපතිවරයාගේ මෙම හැසිරීම අහඹුවක්ද එසේ නැතහොත් සත්‍ය පදනම් කොට ගත්තක් ද යන්න විමසීමේදී සභාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරියාගේ කිල්ලෝටයේ ඇති හුනු ප්‍රමාණය එළිවෙයි. මේ දෙදෙනාම පළමුව ගත් කළ රාජකීයයන් වන අතර රනිල් ගේ සහ මලික් ගේ අතිශය හිතවත් මිතුරන් වෙති. ඒ නිසාම එකී නිලධාරීන් ගේ වැටුප් හා වරප්‍රසාද තලයන් තීරණය කොට ඇත්තේ ශ්‍රී ලන්කන් සමාගම බංකළොත්භාවයට පත්ව ඇති සමාගමක් ලෙස නොසලකමිනි. අජිත් ඩයස් මහතා වනාහි කොළඹ පිහිටි ප්‍රසිද්ධ කෝපි කඩයක හිමිකරුවෙකි. එය කොෆි බීන් (Coffee Bean and Tea Leaf) නම් වෙති. එහි සම හිමිකරුවන් වන්නේ අජිත් ඩයස් සහ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාය.

ගජ මිතුරුකම් හොරකම් වසා දමන්නට

අරවින්ද හා ශ්‍රී ලන්කන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන විවාහ වී සිටින්නේ අක්කා – නඟෝ දෙපළකි. ඒ නිසාම කපිල චන්ද්‍රසේනගේ පෙර වැරදි වසා දැමීමේ ගජමිතුරු කමක් වර්තමාන සභාපති අජිත් ඩයස්ට පවතී. කපිල චන්ද්‍රසේන හා ශිරන්ති රාජපක්ෂ ගේ සොහොයුරු නිශාන්ත රාජපක්ෂ එකතු වී රුපියල් බිලියන 120ක අලාභයක් ශ්‍රී ලන්කන් සමාගමට සිදු කොට තිබුණේය. එසේ වූ පාඩුව අවම කිරීමට රනිල් පත් කළේ අජිත් ඩයස් නම් වූ කෝපි කඩ හිමියෙකි. නමුත් රාජකීයයෙකි. පඩි නොගනී. නමුත් මසකට රු. මිලියන 5කට අධික මිලකට නොමිලේ ගුවන් ගමන්වල යෙදෙති. එසේ යන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට සේවය කිරීමට නොව, තමන් හා අරවින්ද ගේ පොදු ව්‍යාපාර කටයුතු ඉහළ නැංවීමටය. ශ්‍රී ලන්කන් සමාගමේ කප්පිත්තා වන සුරේන් රත්වත්තේ, රනිල් ගේ ප්‍රාණ මිත්‍රයෙකු වන චරිත රත්වත්තේ ගේ සොහොයුරා වන්නේය. කප්පිත්තකු වූ පමණින්, ගුවන් සමාගමක් කළමනාකරණය කළ නොහැති බව ඔහු මේ වන විට ඔප්පු කරමින් සිටී. සුරේන් රත්වත්තේගේ පූර්ණ වැටුප හා වරප්‍රසාදය රුපියල් මිලියන 3කි. රනිල් රාජකීයයන්ට සලකන හැටි මෙසේය. ඊට අමතරව තවත් ප්‍රධාන වාණිජ නිලධාරියකු ද රුපියල් මිලියන 2ක් ගෙවා සේවය ලබා ගෙන තිබේ. ඔහු රනිල් හා මලික් ගේ හිතවතකු වන සිවා රාමචන්ද්‍රන් වන්නේය.

රාජපක්ෂ හොල්මන්

මේ ආකාරයට රනිල් – රාජකීය හවුලක් ශ්‍රී ලන්කන් ආයතනය බදාගෙන කන අතරේ තවත් පුදුම එලවනසුලු කරුණක් ශ්‍රී ලන්කන් ආයතනය තුළ සිදුවෙමින් පවතී. ඒ අන්කිසිවක් නොව රාජපක්ෂ යුගයේ හොල්මන් කිරීම්, වර්තමාන පාලනය හරහා ද සිදු වීමයි. ඒ යටතේ සේවක මර්දනය, සේවක කලකිරවීම් සඳහා සභාපති අජිත් ඩයස් විසින්ම පත්කරනු ලැබූ නිලධාරීන් 3 දෙනෙකු කටයුතු කිරීමය. එකී නිලධාරීන් තිදෙනාම හිටපු හමුදා නිලධාරීන් වන අතර ඒ අතරින් දෙදෙනකුම පසුගිය රජය සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම පිට, ශ්‍රී ලන්කන් සමාගම වෙත බඳවා ගත් අය වන්නේය.

මේ අතරින් ප්‍රධාන වන්නේ කර්නල් සුනිල් පීරිස් නැමැත්තාය. ඔහු සභාපති වරයා විසින් සමාගම වෙත කැඳවා ගෙන එනු ලබන්නේ නව යහපාලන රජය යටතේදීය. කර්නල් සුනිල් පීරිස් මේ වන විට මානව සම්පත් කළමනාකරණය පිළිබඳ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. සේවක කළමනාකරණය සිදුවන්නේ නිකරම ඔහුගේ කැමැත්ත අකමැත්ත මතය.

කර්නල් සුනිල් පීරිස්ගේ පසුබිම ගැන විමසන විට එළිවන කරුණු පුදුම සහගතය. සුනිල් පීරිස් හිටපු ශ්‍රී ලන්කන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ ශාන්ත තෝමස් විද්‍යාලයේ පන්ති මිතුරෙකු වන අතර,  නිශාන්ත, රාජපක්ෂගේ මඟුලේ දෙවන මනමාලයා ලෙස කටයුතු කොට තිබේ. අජිත් ඩයස් නව ආණ්ඩුව යටතේ පිරිස් කළමනාකරණය සුනිල් පීරිස්ට භාරදීම නරියාට කුකුල් කොටුවක් භාරදීමට සමානය. සේවකයන් මෙන්ම ලිපිගොනු ද පවතින්නේ ඔහුගේ පාලනය යටතේය. ලැබෙන ආරංචි මාර්ගවලට අනුව සුනිල් පීරිස්, අජිත් ඩයස්ට හඳුන්වා දී ඇත්තේ කපිල චන්ද්‍රසේන විසිනි. රාජපක්ෂවරුන්ගේ ගෝලයකු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 26 වැනි මහල අරා වැජඹෙන ආකාරය බලන්නට ලස්සනය.

ගෝඨාභයගේ ලිපියක් මත පසුගිය කාලයේ පත්වීම් ලද තවත් නිලධාරියකු වන බන්දුල වේරගම යන අයවලුන්ද සිටින්නේ, කර්නල් සුනිල් පීරිස් සමඟය. ඔහු මුලින් පැමිණියේ ගුවන් යානා අභ්‍යන්තර සේවා සැපයීමේ කළමනාකරුවකු වශයෙනි. අලුත් ආණ්ඩුව යටතේ ඔහු General Manager, Ground Services ලෙස සභාපතිවරයා විසින් පත්කරනු ලැබූ අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ විරෝධය මත දැන් ඔහු ආරක්ෂක සේවයට අනුයුක්ත කොට තිබේ.

මේජර් ජෙනරාල් චන්ද්‍රවංශ, සමාගමේ ආරක්ෂාව භාර විධායක නිලධාරියා වන අතර, ඔහුද ගෝඨාභය රාජපක්ෂ විසින් නම් කොට පත් කරන ලද්දෙකි. ඔහු මේ වන විට සේවය කරන්නේ සේවා දිගුවක් මතය. නමුත් එකී සේවා දිගුව අවසන් කිරීමට සභාපති වරයාට අවශ්‍යතාවයක් ඇති බව නොපෙනෙයි. මේ තුන් කට්ටුවම ආරක්ෂා කරන තවත් අයකු වන්නේ ප්‍රදීප් කැකුලාවලයි. ඔහු රාජපක්ෂ යුගයේ දේශපාලනය කිරීමට අදාළව චෝදනා පත්‍ර ලැබූවෙකි. නමුත් ඔහු සේවය කරන්නේ ද මානව සම්පත් කළමනාකරණ අංශයේය. මේනයින් පෙන්වන්නේ ශ්‍රී ලන්කන් සමාගම රනිල් වාදීන් හා රාජපක්ෂවරුන් අතර බෙදා හදාගෙන පාලනය සිදු කරනු ලබන අයුරුවෙකි. රනිල්වාදීන්ට භුක්ති විඳීමටත්, රාජපක්ෂවාදීන්ට පෙර වැරදි හැංගීමටත් මෙම ක්‍රමය මඟින් ඉඩ ලබා දී තිබේ. ඊට අමතරව රාජපක්ෂවරුන්ට සමාගමේ සේවකයන් කුපිත කිරීමට නිදහස් අවස්ථාවක් ලබාදී තිබේ. රාපක්ෂවරුන්, ශ්‍රී ලන්කන් සමාගම නටවන්නේ එලෙසටය. මේ වනාහි ශ්‍රී ලංකාවේ තවත් එක් අතිශය වැදගත් ජාතික සම්පතක් නැවත වතාවක් ගජමිතුරු සැලකීම් වලට ඉඩ ලබා දෙමින් විනාශ කරන නිදසුනක් පමණය. ජනවාරී 08 වැනිදා මෙම සංස්කෘතියෙන් ඔබ්බට යෑමට ඡන්දය ලබාදුන් ජනතාවගේ කැමැත්තට කොකා පෙන්වමින් රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ කල්ලිය නැවත වතාවක් රට විනාශයට ගෙන යෑමට දරන වෑයම නතර කිරීමට කාලය එළඹ ඇති බව මේ අනුව අප අවධාරණය කර සිටිමු. හුදෙක් මතවාදයන් ගෙන් ඔබ්බට ගිය රටට හිමි ආර්ථික සම්පත් බංකොලොත් කරමින් මෙම ලුම්පනයින් විසින් ගෙන යනු ලබන ක්‍රියාවන්ට වැට බැඳීමට කාලය පැමිණ ඇති බව නොකිවමානය.

LEAVE A REPLY