අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා විසින් පදවන ලද අංක CAB – 1991 දරන ලෑන්ඩ් රෝවර රථයට යට වීමෙන් පාපැදියකින් ගමන් කළ පුද්ගලයකු ඊයේ(24) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇත.

ආණමඩුව ධර්මපාල විද්‍යාලය අසලදී මෙම රිය අනතුර සිදුවී ඇති අතර අනතුරින් පසු රංගේ බණ්ඩාර ඇමතිවරයාගේ පුත්‍රයා රථය නොනවත්වා පළා ගොස් තිබේ. පසුව ප්‍රදේශවාසීන් එම රථය පිටුපස ලුහුබැඳ පොලිසිය සමග එක්ව අත්අඩංගුට ගෙන තිබේ.

මේ වනවිට එම රථය සහ රංගේ බණ්ඩාර ඇමතිවරයාගේ පුත්‍රයා ආණමඩුව පොලිස් අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ. අනතුරින් මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 42ක් පමණ වන නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හඳුනාගෙන ඇති අතර ඔහුගේ මළසිරුර ආණමඩුව රෝහල වෙත ගෙන ගොස් තිබේ.

පොලිසිය පවසන ආකාරයට මෙම අනතුර රාත්‍රි 07.30 ට පමණ සිදුව තිබේ.

LEAVE A REPLY