මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී ඒකාබද්ධ විපක්ෂය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව කෝට්ටේ මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද(23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ඒකාබද්ධ විපක්ෂය විසින් චෝදනාවන් එල්ල කරනු ලබන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බවත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට කිසිඳු චෝදනාවල් එල්ල නොකරන බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.

මේ මගින් ගම්‍ය වන්නේ ඒකාබද්ධ විපක්ෂය එජාපයේ අතකොළුවක් බවට පත්වී ඇත්ද යන්න ඒ මහතා ප්‍රශ්නකර සිටියේය.

පිහිටුවනු ලැබූ නව පක්ෂයේ නාමික සභාපතිවරයා ලෙස ජී.එල්.පීරිස් කටයුතු කළඳ එහි ක්‍රියාකාරී සමාජිකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරන බව ඔහු පෙන්වා දුනි.

එමෙන්ම පසුගිය ආණ්ඩුව එතරම් පිරිහීමකට ලක් වූයේ බැසිල් රාජපක්ෂ මහතා නිසා බවත්, එවැනි පුද්ගලයෙකු නව පක්ෂයේ තීරකයා ලෙස කටයුතු කිරීම තුළින්ම එහි අනාගතය පැහැදිලි බව ඒ මහතා පැවසීය.

නව පක්ෂය නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාට බවත්, එහි අවශ්‍යතාවය එජාපයට කඩේ යාමක්ද යන්න ඔහු ප්‍රශ්න කර සිටියේය.

මෙවැනි වාතාවරණයක් තුළ එජාපය දේශපාලන වාසි ලබා ගැනීමට බලා සිටින බවත්, කවදත් එජාපය විසින් නොහොබිනා ක්‍රියාවන් සිදු කළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම මේ අවස්ථාවට එක් වූ කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා කියා සිටියේ නව පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරන ජී.එල්. පීරිස් කල් ඉකුත් වු භාණ්ඩයක් බවයි.

බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රීලනිපය ද්‍රෝහිකම් කළේ අද ඊයෙක නොවන බවත්, ඔහු ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ මේනියාවක් ඇති බවත් කියා ඔහු කියා සිටියේය.

එමෙන්ම බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පිරිස් අවුරුදු 10ක් රට පාලනය කළ බවත්, ඔවුන් ඒ කාලයේ කළ දෙයක් නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.

නව පක්ෂයක් බිහි කිරීම තුළින් සිදු වන්නේ එජාපයට වාසි ලැබීමක් බවත්, මෙවැනි තත්ත්වයක් හමුවේ නව පක්ෂයක් ආරම්භ ‍නොකරන ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් බුද්ධදාස මහතා පැවසීය.

එජාපයට කඩේ යන මෙවැනි ක්‍රියාවලියකට එක් නොවන ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම ශ්‍රීලනිපයට වැඩි වශයෙන්‍ ද්‍රෝහිකම් කරන්නේ බැසිල් රජපක්ෂ හා දිනේෂ් ගුණවර්ධන යන දෙදෙනා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ඒ අවස්ථාවට එක් වූ මොරටුවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති අජිත් පුෂ්ප කුමාර මහතා කියා සිටියේ නව පක්ෂය තුළ ජී.එල්.පීරිස් විසින් පඹයාගේ භූමිකාව රඟදක්වන බවයි.

ජනතාවට එපා වූ කුජීත දේශපාලඥයින් නව පක්ෂ නිර්මාණය කරමින් ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ ක්‍රියාවලියක නිරතවන බවද ඒ මහතා පෙන්වා දුනි.

එමෙන්ම උදය ගම්මන්පිල හා විමල් විරවංශ යන පිරිස්ද නව පක්ෂය වටා ඇති බවත්, පක්ෂවලට හේත්තු නොවී තනිවය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී එක් ආසනයක් හෝ ජයග්‍රහණය කර පෙන්වන ලෙස ඔවුන්ට අභියෝග කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY