අදින් පසු කැලෑ සහ පස් කැපීමේදී තමන්ගේද අවසරය ගත යුතු චක්‍රලේඛයක් නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මහපරිමාණ ව්‍යාපෘති සඳහා පස් සහ කැලෑ කැපීමේදී ඒ සම්බන්ධයෙන් වන ආයතන අවසර ලබාදෙන නමුත් එම අවසරය මත සිදුවන විනාශය ගැන එම ආයතනවල නිලධාරීන් සොයා නොබලන බව තමන්ට වාර්තා වී ඇතැයි ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ  පොලිතීන්, ප්ලාස්ටික්, විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය නිවාරණය කිරීමේ ජාතික සතිය ලබන (24-30) ප්‍රකාශයට පත්කිරීම නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරියේදී අද පැවැති උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ මධ්‍යම පරිසර අධිකාරිය යටතේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය වැනි ආයතන ගණනාවක් ඇති නමුත් ඒවායේ නිලධාරීන් සිය රාජකාරි හරි හැටි ඉටුකරන්නේදැයි සැකයක් ඇති බවයි.

පසුගිය දිනක වරකාපොල පිහිටි දිය උල්පත් සහිත පස්කන්දක් කපා එහි පස් ගැනීමට කොන්ත්‍රාත් සමාගමකට අවසර දී ඇති බවත්, ඒ ගැන වැඩිදුරටත් සොයාබැලීමේදී එවැනි ප්‍රයෝජනවත් ස්ථානයක පස් කපා දැමීමට අවසරදීම තුළ නිලධාරීන් පරිසරය ගැන දක්වන උනන්දුව අවම බව පෙනෙන්නට තිබුණු බවත්, ජනාධිපතිවරයා පැවසුවේය.

බලපත්‍රය පරික්ෂා කිරීමේදී කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය සඳහා පස් පිරවීමට යයි සඳහන්ව ඇති බවත්, එම මාර්ගය තවම හැදීමටවත් පටන්නොගෙන මේ ආකාරයට පස් කැපීමට ඉඩදී ඇති බවටත් ජනාධිපතිවරයා චෝදනා කළේය.

එසේම නුවරඑළිය හා මහනුවර ප්‍රදේශවල විශාල වශයෙන් කැලෑ කැපීම් ගැන වාර්තා වී ඇති බවත්, ඒ සඳහා අවසර දෙන නිලධාරීන් අදාළ පෞද්ගලික සමාගම් සිදුකරන දෑ ගැන පසුවිපරමක් නොකරන බවත්, මේ තුළ විශාල වශයෙන් පාරිසරික හානියක් සිදුවන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, ජනාධිපතිවරයා පැවසුවේය.

ඒ අනූව අද සිට මහපරිමාණ ව්‍යාපෘති සඳහා පස්, කැලෑ කැපීමේදී තමාගේද අවසරය ගත යුතු බවට වන චක්‍රලේඛයක් නිකුත් කරන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

 

 

LEAVE A REPLY