2017 අය වැය මගින් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉහළ යාම පිළිබඳව ඇතැම් පුද්ගලයින්  විවිධ ලෙස චෝදනා කිරීම සාධාරණ නොවන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සි‍ටියේ අද(24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පසුගිය වර්ෂයේ අයවැයට සාපේක්ෂව මේ වසරේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉහළ යාමට හේතු වූ සාධකයන්ද ඒ මහතා මේ අවස්ථාවේදී පෙන්වා දෙන ලදී.

එනම් රුපියල් මිලියන 1811 ක ප්‍රමාණයක් ජනාධිපති කාර්යාල ‍සේවකයින්‍‍ගේ වැටුප් සඳහාද, රුපියල් මිලියන 1100ක් ‍‍නෙළුම් ‍පොකුණ ඇතුළු ආයතන 7ක්  සඳහාද,රුපියල් මිලියන 42 ක් හිටපු ජනාධිවරුන්‍‍ගේ වියදම් සඳහාද යනාදී වශයෙන් ඒ මහතා තොරතුරු අනාවරණය කර තිබේ.

මෙලෙස වැය ශීර්ෂය ඉහළ ගොස් ඇත්තේ ජනාධිපතිවරයාගේ පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා නොවන බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ රට වෙනුවෙන් කැප වන මෙවැනි නායකයෙකුට අවබෝධයකින් තොරව ඇතැම් පාර්ශව චෝදනා එල්ල කිරීම පදනම් විරහිත බවයි.

එමෙන්ම ජනාධිපතිවරයාගේ වි‍දේශීය සංචාරයන් සම්බන්ධයෙන්ද ඇතැම් පාර්ශව විවිධ චොදනා එල්ල කළද ඒ මහතා විදේශීය සංචාර සඳහා සහභාගී වන්නේ රටට බරක් නොවන ලෙස බවත් ඒ මහතා පැවසුවේය.

එමෙන්ම ඒ කාලේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියටත් මේ ආකාරයෙන්ම චෝදනා විවේචන තිබූ බවත්, රට ගැන හිතන යහපත් පාලකයින්ට මෙවැනි චෝදනා එල්ලවීම ගණන් ගත යුතු නොවන කාරණයක් බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.

එමෙන්ම පසුගිය රජයට සාපේක්ෂව රටේ සංවර්ධනය යහපත් අතට හැරී ඇති බවත්, ජනතාවට සහන ලබා දෙමින් රට සංවර්ධනය කිරීම මේ ර‍ජයේ අරමුණ බවත් ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

මෙහිදී කඩු‍‍වෙල මහ නගර සභා‍වේ ‍කොමසාරිස්වරයා මාරු කිරීම පිළිබඳව ද මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් විමසා සිටි‍යේය.

එහිදී ඒ මහතා ප්‍රකාශකර සිටියේ “සුදුසු ‍‍‍‍කෙ‍නෙක් ආවම ඒ තනතුර අපි ලබා ‍දෙනවා. කඩු‍වෙල මහනගර සභා‍වේ දැනට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඒ වගකීම භාර ගන්නවා. ” යනුවෙනි.

LEAVE A REPLY