ශ‍්‍රී පාද අඩවිය ආසන්නයේ පිහිටි නල්ලතන්නිය පීක්ෆීල්ඞ් වතුයායේ ඉදිකිරීමට යෝජිත හෝටල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් වීමෙන් නතර කර තිබෙනවා.

ඊයේ (31) දිනයේ එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ නිලධාරීන් විසින් මේ පිළිබඳ ජනාධිපතිතුමන් වෙත වාර්තවක් ලබාදීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේම තීරණය ගත් බව මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ සුසන්ත වෙදගේ මහතා අප වෙත පැවසිය.

මාඋස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි මරේ දිය ඇල්ලට ආසන්න වතු යායේ ඇති පැරණි ගොඩනැගිල්ලක් කඩා අලුතින් හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් මධ්‍යම පරිසර අධිකාරියේ සහ බුද්දසාසන  අමාත්‍යංශය මෙන්ම  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතනවලින් අවසරයකින් තොරව අදාළ භූමියේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකරන ලෙසට ජනාධිපති තුමා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට අද (01) දිනය තුළ ලබා දී ලිඛිත තහනම් නියෝගයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි මධ්‍යම පළාත් අධ්‍යක්ෂවරයා අප වෙත කියා සිටියේ.

මෙම හෝටල් ව්‍යාපෘතිය හේතුවෙන් ශ‍්‍රී පාදය ආශ‍්‍රිත සංවේදී පරිසර කලාපයේ ජීවත් වන වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව හා ශාක කොටස්වලට දැඩි බලපෑමක් එල්ල වන බවයි පරිසරවේදීන් පවසන්නේ.

 

 

LEAVE A REPLY