ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට සහ රණබිමේදී තුවාල ලැබූ රණවිරුවන් සඳහා ඉදිකරන ලද නිවාස 50 ක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අතින් ඊයේ (16) පස්වරුවේ රණවිරු අයිතියට පත්කෙරිණි.

නිවාස ප්‍රදානය සංකේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් ජනාධිපති කාර්යාලයේදී නිවාසලාභීන් වෙත යතුරු ප්‍රදානය කළේය.

ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත රණවිරුවන් වෙනුවෙන් අංග සම්පූර්ණ නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ පසුගිය වසරේ නිවාස 35 ක් රණවිරු අයිතියට පත්කරන ලද අතර එහි දෙවන අදියර යටතේ ඉදිකරන ලද නිවාස 50 ක යතුරු මෙලෙස අද දින ජනාධිපතිතුමා අතින් රණවිරුවන්ට හා දිවිපිදූ රණවිරුවන්ගේ සමීප ඥාතීන්ට ප්‍රදානය කෙරිණි.

නිවාසලාභියාගේ පවුලේ සංඛ්‍යාව, දරුවන්ගේ අධ්‍යාපනය හා අනාගත අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් ඉදිකරන ලද මෙම නිවාස සඳහා ශ්‍රම දායකත්වය සපයනු ලැබුවේ නිවාසලාභී රණවිරුවා අයත් වූ එක් එක් රෙජිමේන්තු විසිනි.

මෙම නිවාස ඉදිකිරීම වෙනුවෙන් වැය වූ සියලූ වියදම් දැනට සේවයේ නිරත රණවිරුවන් විසින් රණවිරු නිවාස අරමුදල වෙත පිරිනමන ලද පරිත්‍යාග මුදලින් සහ රෙජිමේන්තු අරමුදල් මගින් දරා ඇත.

මේ අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන් ද රණවිරු පවුල් වල සාමාජිකයන් ද විශාල පිරිසක් ද එක්ව සිටියහ.

 

13935124_10154285683351327_5599192886356940890_n 13932753_10154285681316327_2501371168052347994_n 13886420_10154285684176327_3526110232739999870_n 13873142_10154285683141327_2665397320199654093_n 13921096_10154285681326327_4651033669818671987_n

LEAVE A REPLY