ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග පරිදි අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සැලසුම් මත මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින දුම්වැටියට එරෙහි සටන තවත් ඉදිරියට ගෙන යමින් රට පුරා සියලුම පාසල් ආශ්‍රිතව මීටර් 500ක් දක්වා දුර ප්‍රමාණයක් දුම්වැටි සහ දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කිරීමට යෝජනා කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඊයේ (24) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වූ දුම්කොළ භාවිතය අවම කිරීම පිළිබඳ වැඩමුළුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ වන විට පාසල් ආශ්‍රිත ප්‍රදේශවල මත්පැන් අලෙවි කිරීම තහනම් කර ඇත. ඒ ආකාරයට පාසල් අවට ප්‍රදේශවල දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම ද තහනම් කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇතැයි කීය. තවද පුවක් සහ හුණු ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් පුවක් සහ හුණු භාවිත කිරීමෙන් පිළිකා රෝගීන් වාර්තාවීම බහුල වී තිබෙනවා. එමනිසා හුණු සහ පුවක් වලට එරෙහිවත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මම පියවර ගන්නා බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

එසේම වෙළෙඳසැල්වල දුම්වැටි එක බැගින් සිල්ලරට අලෙවි කිරීම නතර කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත්, සුදු පැහැති සිගරැට් පැකට්ටුව නොබෝ දිනකින් හඳුන්වා දෙන බව ද වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

LEAVE A REPLY