ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා දිනක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට පැමිණි බවත්, ඇය ගොස් පැයක් විතර යද්දී මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ආ බවත්, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (19) අනාවරණය කළේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ‍පැවසුවේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය එම පරීක්ෂණ සඳහා සහය වන ලෙසට ඩුබායි වෙත යැවීමට සැකසූ ලිපියක් රැගෙන ජනාධිපතිවරයා හමුවී ඒ සඳහා අවශ්‍ය අත්සන ගැනීම යනාදිය සිදුකරගෙන ගිය බවයි.

එසේ පිටත්ව ගිය පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ කිරීම සඳහා ලිපියකට අත්සන් තැබූවේදැයි විමසීමක් කර ඇතැයිද ඒ බව ජනාධිපතිවරයා තමන්ට පැවසුවේ යැයිද ඒ මහතා කීවේය.

මෙම සිද්ධියත් සමග දූෂණ වංචා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල විනිවිධභාවය ගැන ගැටළු මතුවන්නේ යැයි අමාත්‍යවරයා අවධාරණය කළේ ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් මාධ්‍ය විකෘති ලෙස පළකර ඇතැයිද මාධ්‍ය හමුවේදී චෝදනා කරමිනි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා හා හිටපු ත්‍රිවිද හමුදාපතිවරුන් අධිකරණයට ගෙනයාම ගැන ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය මාධ්‍ය මගින් වැරදි ලෙස වාර්තා කර ඇති බවත්, විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය පවා එය නිවැරදිව වාර්තාකර නැති බවත්, අමාත්‍යවරයා පැවසූවේය.

එහිදී කැබිනට් මාධ්‍ය හමුවට සහභාගි වූ මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට පෙන්වාදුන්නේ ජනාධිපති මාධ්‍ය අංශය පවා එම ප්‍රකාශය මාධ්‍යයට නිකුත් කළ බවය.

මේ ගැන මාධ්‍යවේදීන් හා අමාත්‍යවරයා අතර දිගින් දිගටම සංවාදයක් ඇති වූ අතර මාධ්‍ය හමුව අතරවාරයේදී අමාත්‍යවරයා ආවේගශිලීව අදහස් දක්වන්නේ ඇයිදැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේය.

එහිදී ඔහු පැවසුවේ “මම මගේ ආවේගය පාලනය කරගන්නම් ඔබතුමා ඔබතුමාගේ රාජකාරිය කරගන්න” යනුවෙනි.

කෙසේ වුවද පෙර කී ඩුබායි ගිණුමෙන් ඩොලර් මිලියන 500 බැගින් දෙවරකදී ලබාගෙන ඇති බවත්, දැන් එම ගිණුමේ සල්ලි නැති බවත්, ඒ ගැන පරීක්ෂණ අසාර්ථක වූ බවත්, අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

දූෂණ වංචාවලට සම්බන්ධ වූවන්ට නඩු පැවරීමේදී නඩු පවරා ඇත්තේ සුළු සුළු කාරණාවලට බවටද රාජිත සේනාරත්න අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන්නේය.

ඇවන්ට්ගාඩ් නඩුව ගත් කළ එය සම්පූර්ණයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට වාසි වන පරිදි දමා ඇති බවද, ඇවන්ට්ගාඩ් නැවේ තිබූ ගිනි අවි එකිනෙක ඇතිල්ලීම නිසා ඒවායේ අංක මැකී ඇතැයි ඒ ගැන නිකුත් වූ රස පරීක්ෂක වාර්තාවක සඳහන් බවද  අමාත්‍යවරයා  පැවසුවේය.

බැසිල් රාජපක්ෂට අයත් නැතැයි කියූ ඉඩම හා නිවස ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ බැසිල් කවදාවත් ඒ නිවස හා ඉඩම තමන්ට අයිති යැයි කියයිද? යනුවෙනි.

අන්තිමට වටෙන් කැරකි ඇවිත් බැසිල්ම එම නිවස මිලදී ගැනීමට ඉඩ ඇතැයිද ඔහුට නඩු දැමීමට මීට වඩා කාරණා ඇති බවද රාජිත අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

ජෝන්ස්ටන් ප්‍රනාන්දුට දමා ඇත්තේ කැරම් බෝඩ් ගැන නඩුවක් බවද ඔහුට දමන්නට තිබුණේ එතනෝල් සම්බන්ධ නඩුවක් යැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

එසේම කෙහෙළිය රඹුක්වැල්ලට දමා ඇත්තේ පයිප්ප මිලදී ගැනීමේ නඩුවක් බවත්, ඔහුට දැමීමට තිබුණේ රූපවාහිනියේ නාට්‍ය පෙන්වීමට මුදල් ගැනීම ගැන නඩුවක් බවත්, අමාත්‍යවරයා කීවේය.

මේ ආකාරයට දැනට සිදුවන්නේ කුඩා කුඩා දේ ගැන පරීක්ෂණ බවත්, මීට වඩා පරීක්ෂණ කිරීමට තරම් දෑ තිබියදී එසේ නොවීම ගැන අමාත්‍යවරයා අප්‍රසාදය පළ කළේය.

එසේනම් පරීක්ෂණ පිටුපස  සිටින්නේ අගමැතිවරයාදැයි එහිදී මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර කිසිදු අමනාපයක් නැති බවත්, පරීක්ෂණ සිදුකරන නිලධාරීන් සම්බන්ධයෙන් ද සැකයක් ඇති බවකි.

හමුදා කුමන්ත්‍රණයක් ඇතිවේ යැයි සැකයක් ජනපතිට තිබුණේදැයි ද එහිදී මාධ්‍යවේදියෙකු ඇසූ අවස්ථාවේදී අමාත්‍යවරයා පැවසුවේ එවැන්නක් නොමැති බවය.

මෙම මාධ්‍ය හමුවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද එක්ව සිටියේය.

 

LEAVE A REPLY