දරුවන් පාසල්වලට ඇතුළත්කර ගැනීම සඳහා දෙමාපියන් දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් පසුපස යාම වළක්වමින් දරුවන් පාසල්වලට ඇතුලත් කිරීම සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (23) පස්වරුවේ එක් වෙමිනි.

දරුවන් පාසල්වලට ඇතුලත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සෑම රජයක්ම ගත් තීන්දු තීරණ අසාර්ථක වූ බව පැවසූ ජනාධිපතිතුමා ඒ පිළිබද සෑම රජයක්ම දැඩි විවේචනයට ලක් වූ බව ද සිහිපත් කළේය.

පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමට දෙමාපියන්ට සටන් කිරීමට සිදුව ඇත්නම් එය සියලූ බලධාරින්ගේ අවධානය යොමු විය යුතු කරුණක් බවද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ජනප්‍රිය යැයි සම්මත පාසල්වල දකින දේ අන් සියලූ පාසල්වල ඇති කිරීමට රජයක් ලෙස වත්මන් රජය සියලූ කැපකිරීම් සිදු කරන බවද කියා සිටියේය.

ජනප්‍රිය යැයි සම්මත පාසල්වල තිඛෙන ගුණාත්මක භාවය තරඟකාරිත්වයක් නොමැති පාසල්වල ඇති කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම සහ දායකත්වය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා මෙහිදී විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

විශිෂ්ට කුසලතා දැක්වූ සිසුන් 35 දෙනෙකු වෙත තිළිණ ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

කාර්යක්ෂම ගුරු භවතුන් ද ඇගයීමට ලක් කරමින් ගුරු භවතුන් 18 දෙනෙකුට සම්මාන සහතික ප්‍රදානය ද සිදු විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, මලික් සමරවික්‍රම, ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, රවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් අතුල මුණසිංහ මහතා ඇතුළු ආදි සිසුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

13528479_10154147231746327_3021321851369165000_o 13490841_10154147231736327_1059522719593717830_o 13501929_10154147231991327_8353282853432320709_n 13516430_10154147231996327_5930608756483883193_n

LEAVE A REPLY