පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අගමැති රනිල් වික්‍රමසිංහගේ හයිය අරගෙන කටයුතු කළ බවත්, තවදුරටත් වැරදි කරුවන්ට මෙම ආණ්ඩුව විසින් සුදු හුණු ගාමින් සිටින බවත් මහාචාර්යය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද(03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මහාචාර්යය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ අගමැති විසින් මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කර එම වංචාව හෙළි කළ පුද්ගලයාට දඬුවම් ලබාදීමට කටයුතු කරන බවයි.

මිත්‍ර සම්බන්ධතා අත් හැර රටේ සුබ සිද්ධිය වෙනුවෙන් වගකිව යුතු පාර්ශව කටයුතු කළ යුතු බව පෙන්වා දෙන ඒ මහතා කියා සිටියේ අද වන විට රටේ පොලී අනුපාතය 4%කින් ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිළගෙන ඇති බවයි.

එමෙන්ම අලුත් පක්ෂයක සාමාජිකත්වය ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමෙන් අනතුරුවදැයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගෙන්  මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී සෘජු පිළිතුරක්දීමට ඒ මහතා අපොහොසත් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී නොමැතිනම් වෙනත් පක්ෂයක සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන බව දන්වා තිබීමෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ තිබේදැයි මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී ජී. එල්.පීරිස් මහතා සඳහන් කළේ තමන්ට එය ගැටළුවක් නොවන  බවයි.

එය කිසිම වැදගත්කමක් නැති ප්‍රශ්නයක් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන්ට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට අවස්ථාව තිබෙන බවත්,හෙතෙම පවසා සිටියේය.

මේ අවස්ථාවට එක්වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඒ මහතා කියා සිටියේ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ මගින් නිර්දේශ ඉදිරිපත් වුවුත් වගකිව යුතු පිරිස් මුණිවත රකිමින් හොරු ආරක්ෂා කිරීමේ මෙහෙයුමේ තවමත් නිරත වී සිටින බවයි.

එමෙන්ම හෙට(04) දිනයේ මුදල් මණ්ඩලය රැස්වීමට නියමිත බව  මන්ත්‍රීවරයා පවසා සිටි‍යේය.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව මෙතරම් කතා බහක් හා ආන්දෝලනයක් ඇති වී තිබෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න ඇසීමට තරම් පිරිස් තවමත් සිටන බවත්, සමස්ථ මූල්‍ය ක්‍රියාවලියේම කේන්ද්‍රස්ථානය තුළ මෙවැනි දෑ සිදුවීම කතාබහට බදුන් කළ යුතුම මාතෘකාවක් බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම සමස්ථ මූල්‍ය ක්‍රියාවලියේම කේන්ද්‍රස්ථානය වන මහ බැංකුවට කුඩා චෝදනාවක් වුවද එල්ල වු විට මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්විය යුතු වුවද, මෙවැනි තත්ත්වයක් තුළ එසේ කිසිවක් සිදු නොවී හොරු ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියක් සිදු වූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

මෙවැනි තත්ත්වයන් තුළ විදේශීය වත්කම් හා ආයෝජකයින් බිලියන ගණන් රටට අහිමිවී ඇති බවත් රට තුළ පොලී අනුපාතය දිනෙන් දින ඉහළ යන බවත් ඔහු පවසයි.

එනම් මාමා සහ බෑණා විසින් මිලියන දහස් ගණන් ලාබ ලබමින් තම ව්‍යාපරයන් දියුණු කරගෙන ඇති බවත්, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් ඔවුන් ආරක්ෂා කර ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

කෝප් වාර්තාව ඉදිරිපත් කළද ඒ මගින් නිර්දේශ ඉදිරිපත් වුවුත් වගකිව යුතු පිරිස් මුණිවත රකිමින් හොරු ආරක්ෂා කිරීමේ මෙහෙයුමේ තවමත් නිරත වී සිටීම කණගාටුවට කරුණක් බවත් ඒ මහතා ‍පවසයි.

එනම් පසුගිය ආණ්ඩුව මගින් හොරු ආරක්ෂා කළා යැයි චොදනා කළද මේ ආණ්ඩුව තුළින් සිදුවන්නේ එයම බව ඒ මහතා පැවසුවේය.

එමෙන්ම පසුගිය 2001 වර්ෂයේදී දුප්පත්කම දුරලීම සඳහා රනිල් වික්‍රමසිංහ අගමැති විසින් ණය ලබා ගත් බවත්, ආණ්ඩුවකින් තොරව එම ණය ගෙවීමට මෙම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අවුරුදු එක හමාරක් තුළ ලැබූ ආදායම ප්‍රමාණවත් බවත් ඒ මහතා පෙන්වා දී ඇත.

එමෙන්ම මෙතරම් කෙටි කාලයක් තුළ බිලියන දහස් ගණන් ලාබ ලැබූ මෙම ආයනයේ ආදායමින් රට තුළ පුද්ගලිකව ගුවන්තොටුපොළ හැදීමට තරම් මුදලක් උපයාගෙන ඇති බවත් ඔහු පවසයි.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් චීනය අප්‍රසාදය පළ කර ඇති බවත්, යූ.එන්.පී.ය විසින් චීන විරෝධී නිල මෙහෙවරක් රැගෙන යන බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ පෞද්ගලික න්‍යායපත්‍රවලට කටයුතු නොකර වැරදි කළ පුද්ගලයින්ට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි.

LEAVE A REPLY