මෙරට විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇතුළු සියලූ අධ්‍යාපන ආයතන සංසංහිඳියාවේ කේන්ද්‍රස්ථාන බවට පත්විය යුතු බවත් පාසල් විෂ්‍ය නිර්දේශයට සංහිඳියාවේ පාඩම ඇතුළත් විය යුතු බවත් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.

ඉකුත් සතියේ යාපනය විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සිහිපත් කළ ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් තමා ඉතාමත් කණගාටු වන බවත් එවැනි ගැටුම් ඇති නොවන ලෙසට අපගේ සියලූම අධ්‍යාපන මධ්‍යස්ථන නැවත සකස් වියයුතු බවත් සඳහන් කළේය.

ජනාධිපතිතුමා මෙම අදහස් පළකළේ ඇ.ඩො.මිලියන 8ක ට ආසන්න මූල්‍ය ආධාරයෙන් ජර්මානු රජයේ ආධාර යටතේ කිලිනොච්චියේ ඉදිකළ ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය අද (18) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

2015 ජනවාරි 8 වනදින මේ රටේ ජනතාව තමා ජනාධිපතිධුරය සඳහා තෝරාගනු ලැබුවේ තමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම්ව බව සිහිපත් කළ ජනාධිපතිතුමා එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියලූ කරුණු ඉටුකිරීම වෙනුවෙන් කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාකරන බව සඳහන් කළේය.

සිංහල, බෞද්ධ ජනතාවට මේ රටේ සතුටින් ජීවත් විය හැක්කේ මේ රටේ ජීවත්වන අනෙක් ජනකොටස් වල ගැටලූ විසඳීමෙන් පමණක් බව සිහිපත් කළ ජනාධිපතිතුමා, උතුරේ ජනතාවට ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීම ඒ ගැටලූ විසදීමේ පළමු පියවර බව ද ප්‍රකාශ කළේය.

දකුණේ සිට ප්‍රවෘත්ති සාකච්ඡා තබමින් මාධ්‍ය වීරයන් බවට පත්ව සිටින පිරිසට පළමුව උතුරු නැගෙනහිරට පැමිණ එහි ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන ලෙසද, ඔවුන්ගේ ගැටලූ තේරුම් ගැනීමට උත්සාහ කරන ලෙසද ඉල්ලා සිටින බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම තුළින් උත්සාහ කරනු ලබන්නේ රට කඩන්නට නොව එකම රටේ බෙදී වෙන්වී සිටින පිරිස් එක්කොට එක රටක් ගොඩනගන්නට බවද ජනාධිපතිතුමා පැවසීය.

ලංකා ඉතිහාසයේ නව දේශපාලන බලවේග සහ නායකත්වයන් මතු වූ අවස්ථා සිහිකළ හැකි බව පැවසූ ජනාධිපතිතුමා එවැනි බලවේගයන් බිහිවන්නේ නම් එහි නායකත්වය ගත යුත්තේ දූෂණ වංචා චෝදනා වලින් තොර පුද්ගලයින් බවද එවැනි පුද්ගලයින් නැවත බලයට ඒමට උත්සාහ දරන්නේ යළි දූෂණ වංචාවන් සඳහා දැයි ගැටලූවක් මතුවන බව ද ප්‍රකාශ කළේය.

මෙහිදී තම නිල කාලය අවසන් කොට ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත ජර්මානු තානාපතිවරයා වෙත සුබ පැතුම් එක්කළ ජනාධිපතිතුමා මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීම් ඇතුළු ජර්මානු රජයෙන් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් සහයෝගය වඩා ඵලදායී ලෙස මෙහෙයවීමට දැක් වූ දායකත්වය වෙනුවෙන් තානාපතිවරයා වෙත විශේෂ ස්තුතියක් ද පළ කළේය.

ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය විවෘත කිරීමේ අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් එම පරිශ්‍රයේ කොහොඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව වෘත්තීය පුහුණු ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, අමාත්‍ය මහින්ද සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ජර්මන් තානාපති Juergen Morhard, ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

08-3-1024x659 06-3-1140x620 09-3-1024x427

LEAVE A REPLY