බැඳුම්කර වංචාවට සම්බන්ධ මූල්‍ය ආයතනයට සීල් තැබිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අදාළ ආයතනයට එරෙහිව කඩිනමින් නීතිමය පියවරද ගත යුතු බවයි.

බැඳුම්කර වංචාව  මහබැංකුවට පමණක් නොව මෙරට සියළු මූල්‍ය ආයතනවලට සිදුවූ අලාභයක් බවත්, එම කළු     ලපය ඉවත් කරන තුරු සිදුවූ අපකීර්තියෙන් මිදිය නොහැකි වනු ඇති බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා ඇතුළු රජය වහාම ඉල්ලා අස්විය යුතු බවද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

එම මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේ අදාළ මූල්‍ය ආයතනයේ බලපත්‍රය අවලංගු කළ යුතු බවයි.

මෙම වංචාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ද පැමිණිලි කර ඇති බව පැවසූ ඒ මහතා රහස් පොලීසියට ද මේ ගැන පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව කියා සිටියේය.

මාධ්‍ය හමුවට එක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ කෝප් වාර්තා 30ක් කුණු කූඩුවට ගිය බවට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා කළ ප්‍රකාශය පදනම් විරහිත බව පැවසීය.

ඔහු කියා සිටියේ 1979 සිට මේ දක්වා ඉදිරිපත්ව ඇත්තේ කෝප් වාර්තා 32ක් බවත්,  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඉදිරිපත් වූයේ වාර්තා 11ක් බවත්, කියා සිටියේය.

එම මාධ්‍ය හමුවට එක්ව සිටි පා.ම වාසුදේව නානායක්කාර  මහතා පැවසුවේ බැඳුම්කර වංචාව ගැන ජවිපෙ විසින් හිටපු මහබැංකු අධිපතිවරයාට චෝදනා කළද අගමැතිවරයාට චෝදනා නොකරන බවයි.

ජවිපෙ එම වංචාව ගැන කතා කරද්දී ඔවුන්ගේ එම කතා අගමැතිවරයා ළඟට ඇවිත් නතර වන බවද පෙන්වාදුන්නේය.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුද එම මාධ්‍ය හමුවේදී අදහස් පළ කරන ලදී.

LEAVE A REPLY