හිටපු මහ බැංකු අධිපති වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇතැයි වාර්තාවේ.

CSN නාලිකාවේ විකාශන බලපත්‍රය අහෝසි කිරීම හා බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ මුලිකත්වයෙන් අද සවස පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පැවැත්වෙන බව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත දැනුම්දී තිබිණ.

ඒ පිළිබඳව වාර්තාවීමට සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමා පාර්ලිමේන්තුවට එනතෙක් මාධ්‍ය හමුව නොපවත්වන ලෙස ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත.

අනතුරුව සවස 2.00ට පමණ පාර්ලිමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා, ‘කෝප්’ ප්‍රශ්නය විසඳා ගැනීමට ආණ්ඩුවට ඉඩදී ඒ සම්බන්ධයෙන් හොදක් හෝ නරකක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන්නැයි දැනුම් දී තිබේ.

එම ප්‍රකාශයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා ද විමතියට පත්වූ බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත පැවසිය.

මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට පැවසෙන හිටපු මහ බැංකු අධිපතිගේ බැණා වන අර්ජුන් ඇලෝසියස් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරෙකි.

LEAVE A REPLY