රතු කමිස ඇඳ ගත්තු පමණින් මිනිස්සු සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී නොසිටින බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අවධාරණය කරයි.

අපිව බොරු නඩුවලට පටලවා  අපහාස කරන්න, චරිත ඝාතනය කරන්න පුලූවන්දැයි  සමහරු උත්සාහ කරන බවත්, අපි     අපි මඩවලට පිළිතුරු දෙන්නේ වැඩ කර බවත්, ඇමතිවරයා කියයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  වේරැස් ගඟ ව්‍යාපෘතිය සඳහා පසුගිය රජය සමයේ අත්තනෝමතික ලෙස පවරාගෙන තිබූ ඉඩම් එම ජනතාවට නැවත කෘෂිකාර්මික කටයුතු සඳහා නිදහස් කිරීම වෙනුවෙන් පිළියන්දල බෝකුන්දර ශ‍්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී ඔහු‍ මෙසේද පැවසීය.

“වේරැස් ගග ව්‍යාපෘතිය බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වූ ව්‍යාපෘතියක්. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ නොයෙක් වාද විවාද ඇතිවෙලා තියෙනවා. උසාවියෙත් නොයෙක් වාද විවාද ඇතිවෙලා තියෙනවා. ඒ වගේම අපේ විහාරස්ථානවල, පොදු ස්ථානවල, පළාත් සභාවේ, ප‍්‍රාදේශීය සභාවේ නොයෙක් වාද විවාද ඇතිවෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාව මේ වේරැස් ගග ව්‍යාපෘතිය මහා ව්‍යසනයක් කියලා වහාම ඒක නවත්වන්න කියලා. ඒ වගේම සමහර බලගතු මැති ඇමතිලා කිව්වා ඒ ගොල්ලන්ගේ ඉඩම් විතරක් අල්ල ගන්න හදන්න එපා, ඒ ගොල්ලන්ට බලය තියෙනවා ධනය තියෙනවා ඒ හින්දා මේ ව්‍යාපෘතිය නවත්වන්න  ඕනේ කියලා. මේ වගේ නොයෙක් දෙනා නොයෙක් ආකාරයේ බලපෑම් මේකට එල්ල කළා. මෙ ව්‍යාපෘතිය ගැන සමහර දැන උගත් අයත් කතා කළා. ඔය ගොඩ පෙරකදොරුවෝ, ගොඩ වෙද්දු වගේ දැන් ගොඩ ඉංජිනේරුවෝ ටිකකුත් බිහිවෙලා තියෙනවා. ඒ අය ගිහිල්ලා කතා කළා මේ ක‍්‍රමයට නෙමෙයි වතුර බස්සන්න  ඕනේ. මේහෙම නෙමෙයි ගංවතුර පාලනය කරන්න  ඕනේ, මෙහෙමයි වෙන්න  ඕනේ කියල එහෙමත් කතා පවත්වපු අය හිටියා. මම එකක් කියන්න  ඕනේ. මම අමාත්‍යාංශ ගණනාවක් කරලා තියෙනවා. මේ රටෙ බලගතු අමාත්‍යාංශ කිහිපයක් පාලනය කරලා තියෙනවා. අපි කිසිම අවස්ථාවක අසාධාරණ ආකාරයට වැඩකටයුතු කරන්නේ. නැහැ. ඒ වගේම බලයට ධනයට, බලහත්කාරයට යට වෙන්නෙත් නැහැ. ඒක නිසා තමයි අපි මැති ඇමතිලාගේ ඉඳන් සෑම කෙනෙක්ගෙම ඉඩම්, ඒවා අත්‍යවශ්‍යනම් අත්පත් කර ගන්න කි‍්‍රයා කළේ.

මේ ව්‍යාපෘතියේ වටිනාකම ඇතිවුනේ මේ පසුගිය දා ඇතිවුණු ගංවතුරෙන්. මේ පසුගියදා ඇතිවෙච්ච ගංවතුරෙන් කොලොන්නාව, කඩුවෙල ගෙවල් 40000 ක් යට වුණා. දේපල සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. ඒ අයට නැවත අනාගතයක් නැති තරම් වටිනා දේපල සම්පත් ප‍්‍රමාණයක් විනාශ වෙලා ගියා. මේ ව්‍යාපෘතිය නොතිබ්බනම් නුගේගොඩ, බොරලැස්ගමුව, මේ බෝකුන්දර ආදී ප‍්‍රදේශවල නිවාස ලක්‍ෂයකට අධික ප‍්‍රමාණයකට හානි සිදුවෙන්න තිබුණා ඒ ගංවතුරෙන්. ඉතින් ඒක නිසා පටු අදහස්වලට නොරැවටී,  ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු මේ දේශපාලන ඇත්තන්ගේ නායකත්වයෙන් ඔබතුමාලා ඉවසීමෙන් කි‍්‍රයා කිරීම ගැන මම ඔබතුමාලට පළමුවෙන්ම ස්තූතිවන්ත වෙනවා. මොකක්ද මේ වේරැුස් ගග ව්‍යාපෘතිය හා කොළඹ ගංවතුර වැලැක්වීමේ වැඩපිළිවෙල. අපි කවුරුත් දන්නවා මේ කොළඹ දිස්ත‍්‍රික්ක අතිශය නාගරීකරණය වෙච්ච දිස්ත‍්‍රික්කය රටේම. එතකොට මේ කොළඹ දිස්ත‍්‍රික්කය ඇතුළු මේ බස්නාහිර පළාතේ ඇල මාර්ග ආශ‍්‍රිත ඉඩම් තියෙනවා 17%ක්. ඒවගේම පහත්බිම් කියලා අඳුනගත්ත කුඹුරු හා මඩවගුරු සහිත තෙත් බිම් ප‍්‍රදේශ ඉඩම් වලින් 30% ක් පමණ තියෙනවා. අනාගතයට මේවා ආරක්‍ෂා කර ගත්තේ නැත්නම් ඔය පසුගියදා ඇතිවුණා වගේ මහා ගංවතුර උවදුරකට මේවා යටත් වෙන්න නියමිතයි. ඒ නිසා තමයි, 2010 ගංවතුර මේ ඇත්තන්ට මතක ඇති, රත්තනපිටිය, බොරලැස්ගමුව, බෝකුන්දර මේ ඔක්කොම ප‍්‍රදේශ බරපතල විදිහට යටවුණා. යටවෙලා මහා ව්‍යසනයක් ඒ අවස්ථාවේදි උනා. ඒ නිසා තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. ඒනිසා මේ ව්‍යාපෘතිය කවුරු කවර ආණ්ඩුවකින් ආරම්භ කළත් ඉතා වැදගත් අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් හැටියට අපි දකිනවා ප‍්‍රදේශයේ ගංවතුර පාලනය කරන්න. ඒ ගංවතුර පාලනය කරන්න විතරක් නෙමෙයි මේ ප‍්‍රදේශයේ ඉඩම් වලට වටිනාකමක් එන්නේ එවැනි ව්‍යාපෘතියක් මගින්. ඉතින් මේ ව්‍යාපෘතිය පළමුවෙන්ම විදේශ සමාගමකට දෙන්න උත්සාහ කළා. ඒ සමාගම ඉදිරිපත් කරපු ගණන් හිලව් ඉතාමත් වැඩියි. ඒ ගණන් හිලව් වලින් 1/3 කට අඩු ප‍්‍රමාණයකට තමයි මේ දේශීය ඉංජිනේරුවෝ දාලා දේශීය ව්‍යවසායකත්වයක් මගින් මේ ව්‍යාපෘතිය කරන්නේ. ඒ ගැන අපි ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඉංජිනේරු මහත්වරුන්ට ස්තූතිවන්ත වෙනවා. රට ණය ගැති කරන්නේ නැතිව දේශීය අරමුදල් වලින් දේශීය ඉංජිනේරු තාක්ෂණයෙන් මේක කරන්න ඉදිරිපත් වීම ගැන. මෙකෙන් අපිට ලොකු ශක්තියක් ලැබෙනවා.

අපි අද මේ වේරැුස් ගග ව්‍යාපෘතිය පමණක් නෙමෙයි, කොළඹ දිස්ත‍්‍රික්කයේ ඇතිවෙච්ච ගංවතුර නිසා ව්‍යාපෘති ගණනාවක් යෝජනා කරලා තියෙනවා. එකක් තමයි අවසන් කරපු ලූනාව ව්‍යාපෘතිය ප‍්‍රතිසංස්කරණය කිරීම, ඊ ළගට මේ වේරැස් ගඟ ව්‍යාපෘතිය අවසන් කිරීම, ඊ ළගට වේරැස් ගඟ ව්‍යාපෘතියේ දෙවෙනි කොටස හැටියට රත්මලාන බොරුපන ආදී ප‍්‍රදේශවල තියෙන ගංවතු උවදුර වෙනස් කිරීමට විධිමත් සංවර්ධනයකට යටත් කිරීම. ඊ ළගට ඉතාම වැදගත් දරුණු ලෙස ගංවතුර උවදුරට පාර්ලිමේන්තුව ලක්වෙන නිසා මාදිවෙල ප‍්‍රදේශයේ මීළග ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙන්න නියමිතයි. ඊ ළගට කොලොන්නාව ඇළ මාර්ග පද්ධතිය පිළිසකර කරලා කොලොන්නාවේ පොම්පාගාරයක් ඉදිකරලා ජලය ගගට බැසයාම වේගවත් කරන වැඩපිළිවෙලක් සකස් කරන්න නියමිතයි. ඊ ළගට  කොළඹ නගරයේ ස්ථාන 47 ක් යටවෙනවා. ඒ 47 ම යටනොවී, කොළඹ නගරය, දෙහිවල ගල්කිස්ස ප‍්‍රදේශය ආරක්‍ෂා කරගැනීම අවශ්‍යයි. ඒ නිසා අපි ව්‍යාපෘති දියත් කරනවා. මේවාට අතිවිශාල ධනස්කන්දයක් වැය වෙනවා. රජය ඒ සඳහා පියවර ගනිමින් ඉන්නවා. අපි ව්‍යාපෘති ඉංජිනේරුමය වශයෙන් සැලසුම් කරලා අවසන්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අවුරුදු 3 දී ගංවතුර නැති කොළඹ නගරයක් සහ අවට ප‍්‍රදේශ ගොඩනගන්න අපට හැකියාව ලැබෙයි කියලා. ඉතින් මේ තුළින් තමයි කොළඹ නගරයේ ඉඩම්වලට අලූත් අගයක් අලූත් වටිනාකමක්  එකතු වෙන්නේ. මම දැක්ක පත්තරවල තියෙනවා මේ ප‍්‍රශ්නය වේරැස් ගග ප‍්‍රශ්නය ගැන අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා මැදිහත් උනා කියලා. ඒවා අසත්‍ය ප‍්‍රචාර. එතුමන්ලා කිසිම විටෙක, කිසිම ආකාරයක බලපෑමක් කරලා නැහැ. එතුමනලා දන්නවා අපි වැඩකරගෙන යන කලාව මොකද්ද කියලා. එනිසා කිසිම බලපෑමක් කරලා නැහැ. අපිට යම්කිසි බලපෑමක් කරලා තියෙනවා නම් කළේ ඔබතුමන්ලයි. මේ පිළිබඳව අපේ ඉඩම් නැතිවෙනවා අපිට ක‍්‍රියා කරන්න කියලා බලපෑම් කළේ ඔබතුමන්ලයි. ඒ නිසා අපිට අපේ ඉහළ දේශපාලන අධිකාරියකින් මොනයම්ම බලපෑමක්වත් වෙලා නැහැ. ඒවා අසත්‍ය ප‍්‍රචාර. ඒ නිසා අපි දැන් ඔබට මේ ප‍්‍රදේශයේ ඔබ හැම පිළිගන්නවා ඇති මේ ව්‍යාපෘතියේ ඇති වැදගත්කම.

ඒ නිසා ඔය ගොඩ ඉංජිනේරු න්‍යායන්ගෙන් අයින් වෙලා මේක සාර්ථක කර ගන්න කැපවෙමු. අපි ඔබට අද අවස්ථාව දෙනවා. ඔබේ ඉඩම්වල ස්ථිර බෝග වගාකරන්නේ නැතිව ඒ ඉඩම් දැන් පවතින තත්වයෙන්ම  අවශ්‍ය ජල ගැලීමක් ඇති නොවන ආකාරයකට, ඒ භූමිය වෙනස් කරන්නේ නැතිව. ඒවායේ වෘත්තීය කටයුතු කරගෙන යන්න අපි ඔබට අවස්ථාව දෙනවා. හැබැයි ඔබ ඒවා වෙනස් කළොත්, ගංවතුර උවදුරු ඇතිවෙන විදියට ඒවා සංවර්ධනය කරන්න හැදුවොත්, ස්ථිර භෝග ආදිය වවන්න උත්සාහ කළොත් අපිට නීතිය ක‍්‍රියාත්මක කරන්න වෙනවා. එ නිසා මම ඔබගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ස්ථිර බෝග වවන්න උත්සාහ කරන්නේ නැතිව, ඒ ඉඩ කඩම් නිවැරදිව පාවිච්චි කරන්න කියලා. එනිසා ඔබට අපි අවස්ථාවක් දෙනවා විශේෂයෙන්ම අපි මේ බොරලැස්ගමුව ප‍්‍රදේශය ඉදිරි අවුරුදු 03 දී විශාල සංවර්ධණයකට යොමු කරන්න කටයුතු කරනවා. ඒ වගේම ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අපි වාණිජ මධ්‍යස්ථානයක් මෙතන ඉඳිකරනවා. පිළියන්දල ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකරනවා ඊ ළග අවුරුදු 03දී. ඒ තුළින් මේ ප‍්‍රදේශයට, ඔබට අලූත් රැකියා අවස්ථා, ව්‍යාපාරික අවස්ථා ඒ වගේම අලූත් සමාජ අවස්ථා ලැබෙනවා. ඒනිසා ඉතා දියුණු ප‍්‍රදේශයක් වන කැස්බෑව ප‍්‍රදේශය, පිළියන්දල, බොරලැස්ගමුව ආදී ප‍්‍රදේශ අපි ශක්තිමත්ව වැඩිදියුණු කරන්න කටයුතු කරනවා.

මේ ප‍්‍රදේශයේ තිබෙන අනෙක් දැවෙන ප‍්‍රශ්නය තමයි අපේ මේ කරදියාන කුණු කන්ද. දැන් මේ කසල ප‍්‍රශ්නය කාලාන්තරයක් තිස්සේ ඇවිත් දැන් උච්ඡස්ථානයටම ඇවිල්ලා තියෙනවා. මේ වගේම කුණු කන්දක් දැන් මීතොටමුල්ලෙත් තියෙනවා. ඉතින් අපිට අයිති නැති උනත් අපේ අමාත්‍යාංශයේ වගකීමක් නොවුනත්,  මේ ගැන නොයෙක් කඹ ඇදිලි තිබුණත්, මේ පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අග‍්‍රාමාත්‍යතුමාටත් ඉදිරිපත් කළා. ඉතින් ඒ වැඩසටහන් අනුව අපි යම් වැඩපිළිවෙලක් දියත් කරනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කළා. ඒ වගේම ප‍්‍රාදේශීය සංවර්ධන රැස්වීමේ කොළඹ දිස්ත‍්‍රික්කයේ අපි කටයුතු කළා. ඉදිරියේදී ඒ පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන්න වෙනවා.

සංවර්ධනය කරගෙන යනකොට අනිවාර්යයෙන්ම සුළු පිරිසකට ඒකෙන් ජීවිතවලට යම් යම් බාධා එල්ල වෙනවා. මට මතකයි ඒ කාලේ අපි ඉංජිනේරුවෝ හැටියට කොත්මලේ ව්‍යාපාරය ඇති කරපු වෙලාවේ. කොත්මලේ ජලාශයට විශාල පිරිසකගේ නිවාස යටවුණා. ඒ නිවාස යටවුණු පිරිස ගිහින් දැම්මේ දෙහිඅත්තකණ්ඩියට. ඒ දෙහිඅත්තකණ්ඩියේ ඝන කැලෑවල තමයි ජනපද බිහිකරලා ඒ අය පදිංචි කළේ. පළවෙනි මාස තුනේ විතරක් මං හිතන්නේ 100 කට අධික පිරිසක් හෘදයාබාධවලින් මිය ගියා. මොකද තමන්ගේ ගම්බිම් දාලා ඒමේ හිතේ අමාරුවට. වැඩිහිටි පිරිස් හගාක් දුක් වින්දා. දැන් අද දෙහිඅත්තකණ්ඩිය කියන්නේ සරුසාර නගරයක්. කොත්මලේ ජලාශය කියන්නේ සරුසාර ජලාශයක්. මේ රටේ විදුලිබිල පාලනය කරන්න විදුලිබල මණ්ඩලයට සහය දෙන විශාල තැනක්. එනිසා කොහේ හරි මොකක් හරි සංවර්ධනයක් කරන්න ගියහාම පිරිසකට කැපකිරීම් කරන්න වෙනවා. වේදනා විඳින්න වෙනවා.  ඕවට විරෝධය දක්වලා, විරෝධය මතම ජීවත්වන, ඒකම කකා, ඒකම විකුණ විකුණ ජීවත්වෙන කණ්ඩායමකුත් ඉන්නවා. මම ඒක කණගාටුවෙන් කියන්න  ඕනේ.

දැන් බලන්න අලූත් කැළණි පාලමක් දාන්න යනවා අපි. ඒ කැළණි පාලම දාන්න යනකොට එතන තිබෙන රාජ්‍ය ආයතන කිහිපයක් ගෙනයන්න  ඕනේ. පරමාණු බලශක්ති අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය රජයේ ඉඩම්වලට ගෙනිච්චහම ඒ ඇත්තො විරෝධය පළ කරනවා. දැන් අවුරුදු 1 1/2ක් ඒ කැළණි පාලම ප‍්‍රමාද වෙලා තියෙනවා. මොන තරම් නම් උදේට මිනිස්සු වේදනාවක් විඳිනවද මහා පාරවල්වල මාර්ග තදබදය මේ සුළු පිරිසකගේ අන්තගාමී වැඩපිළිවෙල නිසා. ඒගොල්ලන්ට මේ වගේවත් නෙමෙයි, එයාලට කිසිම ප‍්‍රශ්නයක් නැහැ ඒ ආයතන දෙක එතනට ආවයි කියලා. නමුත් මේ ගොඩඉංජිනේරුවෝ ගිහිල්ලා මේවා ගෙනාවොත් මෙහෙම හැදෙනවා, විකිරණ ගේනවා, පරමාණු බෝම්බ හදනවා කියලා ජනතාව බිය වද්දනවා. පෙලපාලි යනවා. මේවයින් අර කොළඹ නගරයේ මාර්ග තදබදය නතර කරන්න තියෙන ප‍්‍රධාන මෙහෙයුම, නව කැළණි පාලම අවුරුදු එකහමාරක් පරක්කු වෙලා තියෙනවා. එනිසා රතු කමිස ඇඳ ගත්තු පමණින් මිනිස්සු සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. ඒ වගේම මේ වෙනුවෙන් කටයුතු කරන්නේත් නැහැ. ඔබතුමාලා ඒවට යටනොවී යුක්ති සහගත ඉල්ලීම්වලට අපි ඉදිරියේදි සලකනවා. ඒවාට අපි එකහු වෙලා කටයුතු කරමු. ඔබතුමලාට වැටහෙයි අර කොත්මලේ ජනතාවට වැටහුණා වගේ මේ ව්‍යාපෘතිය විසින් අපේ ජීවිත කොච්චර වෙනස් කරලා තියෙනවාද කියල තව අවුරුදු දහයකින්. අපි තවදුරටත් අපේ ගොවිබිම්වලම ඇවිලිලා ඉන්න  ඕනේ නැහැ. අපට බලගතු අවස්ථාවක් උදාවෙලා තියෙනවා අපේ ජීවිත වෙනස් කරන්න. අපි ඔබට පොරොන්දුවක දෙනවා මේ පිළියන්දල කැස්බෑව, බොරලැස්ගමුව නාගරික ප‍්‍රදේශ ඉතාම දියුණු මට්ටමකට ඉදිරි කාලයේදී ගෙන එන බව. ඒ සඳහා අපිත් එක්ක අත්වැල් බැඳගෙන කි‍්‍රයා කරන්නැයි ඉල්ලා සිටිමින් ඉතාම ඉවසීමෙන් අප සමග කටයුතු කළ අපගේ ගෞරවනීය ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් කටයුතු කළ ඔබ සියළු දෙනාටම අපගේ ස්තූතිය පිරිනමමින්, බලයට ධනයට අපි නැමෙන්නේ නැහැ, අපි නොයෙක් දෙනා එක්ක ධනයට බලයට හැප්පෙන්න ගියහම හරි අමාරුයි. ඒ ධනය බලය තියෙන ඇත්තො ඊට පස්සේ සල්ලි වීසි කරනවා ඊ ලගට අපිව විනාශ කරන්න පුළුවන්ද කියලා බලන්න. අපට බොරු නඩු පටලවන්න පුළුවන්ද බලන්න, අපට අපහාස කරන්න, අපේ චරිත ඝාතනය කරන්න පුළුවන්ද කියලා බලනවා. ඉතින් අපිට ඒ ගොල්ලොත් එක්ක ප‍්‍රති උත්තර බඳින්න, ප‍්‍රතික‍්‍රියා කරන්න අපට වෙලාවක් නැහැ. අපි ඒ අපට බුරා හැලෙන බල්ලන්ට කැට කැබිලිතිවලින් ගහන්න, පොලූ මුගුරුවලින් ගහන්න වෙලාවක් නැහැ. අපි මේ සංවර්ධන ව්‍යායාමය වැඩි ප‍්‍රචාරයකින් තොරව කරගෙන යනවා. එනිසා ඒ කි‍්‍රයාවලියට ඉදිරියේදීත් අපි සමග අත්වැල් බැඳගෙන දායක වෙන ලෙස ඉල්ලා සිටිමින් ඔබ සියළු දෙනාටම තුණුරුවන් සරණ ප‍්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.”

LEAVE A REPLY