මහ බැංකුව සමඟ පැවැත්වූ බැඳුම්කර ගනුදෙනුවෙන් පර්පෙචුවල් ට්‍රෙසරීස් සමාගම රුපියල් බිලියන පහළොවක් මාස පහළොවක් තුළ උපයා ගැනීමේ සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසටත්, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙසටත්, ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය ඊයේ (31දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙළේය.

බැඳුම්කර ගනුදෙනුවෙන් වසර තිහක කාලයකදී ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන එකසිය හතළිස් පහක පාඩුවක් සිදුවෙතැයිද ගනුදෙනුව සඳහා මහ බැංකුවේ හිටපු අධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා උපදෙස් සහ සහාය දී ඇති බව තහවුරු වී ඇතැයිද එම නිසා අගමැතිවරයා තනතුරෙන් ඉවත් වී හෝ සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයිද පැමිණිල්ලේ සඳහන්ය.
බැඳුම්කර ගනුදෙනුවෙන් අයථා ලෙස අත්පත් කරගෙන ඇති ධනය වියදම් කිරීමට පෙර රාජසන්තක කළ යුතු බවත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ගේ විදේශ ගමන් තහනම් කළ යුතු බවත් අයථා ගනුදෙනුවෙන් උපයා ගත් ධනයෙන් මිලදී ගත් යම් දේපොළක් වෙතොත් ඒවාද රාජසන්තක කළ යුතු බවත් ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලන බවත් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතාගේ අස්සනින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ දක්වා ඇත.
මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ජනක බණ්ඩාර තෙන්නකෝන්, බන්දුල ගුණවර්ධන, හිටපු ඇමැතිවරු වන රමේෂ් පතිරණ, තාරක බාලසූරිය, විදුර වික්‍රමනායක සහ කාංචන විජේසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
වර්තමාන අගමැතිවරයාගේ දූෂණ චෝදනා පදනම් කරගෙන පැමිණිල්ල කළ බවද මෙම චෝදනා පදනම් වන්නේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා අතර සිදුවූ ගනුදෙනුවෙන් මේ රටට අලාභයක් හා දූෂණයක් මෙන්ම රාජ්‍ය දේපොළ අපහරණයක් කිරීම නිසා බවද මේ සම්බන්ධව සාක්ෂි ලේඛන හතක් පදනම් කරගෙන පැමිණිල්ල භාර දුන් බවද වාසුදේව නානායක්කාර මහතා මාධ්‍යයට කරුණු දක්වමින් කීය.
යහපාලන ආණ්ඩුවේ දින සියය වැඩසටහන යටතේ පෙබරවාරි 27දා සිද්ධ වූ ශ්‍රී ලංකාවේ දැවැන්තම හොරකම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එකොළොස් දෙනකුගේ සහභාගිත්වයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ බවය.
අග්‍රාමාත්‍යවරයා හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු පර්පෙචුවල් ට්‍රෙෂරීස් මූල්‍ය ආයතනය සමඟ ඊට සම්බන්ධ අනිකුත් ආයතන සියල්ල පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඬුවම් පැමිණ වීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පැමිණිල්ලෙන් ඉල්ලා ඇතැයිද ඔහු කීය.
මේ වන විට රටට සිදුවී ඇති පාඩුව මිලියන දහසකට වැඩි යැයිද මධ්‍යම බැංකුව කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටී ඇතැයිද රටේ ණය පොලිය වැඩිවී සංචිත අඩු වී රුපියල බාල්දු වී ඇතැයිද ආයෝජකයන්ගේ විශ්වාසය බිඳවැටී ඇතැයිද ආයෝජකයන් ආයෝජනය කළ මුදල් බිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් ආපසු ගෙනගොස් ඇතැයිද බන්ධුල ගුණවර්ධන මහතා කීය.
මීට පෙර කිසියම් සුළු දෙයක් සිදුවූ විට හිටපු ජනාධිපතිවරු ඇතුළු සියලුදෙනා අධිකරණයට කැඳවූ බවද මහ බැංකුව භාර අගමැතිවරයා ඉල්ලා අස්වී හෝ සාධාරණ පරීක්ෂණයකට ඉඩ සැලැසිය යුතුව ඇති බවද සිංගප්පූරුවේ දැනට සිටින හිටපු මහ බැංකු අධිපතිවරයා ආපසු එන විට අත්අඩංගුවට ගත යුතුව ඇති බවද එසේ කිරීමෙන් පරීක්ෂණය පැවැත්විය යුතු බවද ඒකාබද්ධ විපක්ෂය වශයෙන් ඉල්ලා සිටින බවද බන්දුල ගුණවර්ධන මහතා කීය.

 

චන්ද්‍රසේන මාරසිංහ.
උපුටා ගැනීම : මව්බිම

LEAVE A REPLY