හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යටතේ සිදුකළ කුප්‍රකට බැඳුම්කර වංචාව සැඟවීමේ අසාර්ථක උත්සාහයක එක්සත් ජාතික පක්ෂය නිරත වෙමින් සිටින බව වාර්තා වේ.

කෝප් කමිටුව විසින් සිදුකළ විමර්ශන වර්තාව එම කමිටුවේ සාමාජිකයින් බහුතරයකගේ එකඟතාවයෙන්  පසුගියදා සම්මත කරගනු ලැබීමෙන් පසුව එජාපය මෙම උත්සාහයේ නිරත වෙමින් සිටින බව පැවැසේ. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යටතේ සිදුකළ  බැඳුම්කර වෙන්දේසි දෙකක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනය කිරීමෙන් අනතුරුව එම වාර්තාව මේ සතිය තුළදී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.

එසේ තිබියදී එම වාර්තාවට සම්පූර්ණ පටහැනි වාර්තාවක් සකස් කරමින් හිටපු මහබැංකු අධිපතිවරයා බැඳුම්කර වංචාවෙන් ගලවා ගැනීම එජාපයේ උත්සාහය වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. මේ සඳහා කෝප් කමිටුව නියෝජනය කරන එජාප මන්ත්‍රී කණ්ඩායමට අමතරව එජාපයේ ප්‍රබලයින් රැසක්ද කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.

අද(24) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කෝප් කමිටු රැස්වීම තෙවැනි දිනටත් ඉතා උණුසුම් ස්වභාවයක් ගත් අතර එජාපයේ ප්‍රභලයන්ගෙන් දිගින් දිගටම එල්ල වන බලපෑම් හමුවේ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තම විරෝධය පළ කර කෝප් කමිටු රැස්වීමෙන් මීට සුළු මොහොතකට පෙර ඉවත්ව ගොස් ඇතැයි අපවෙත වාර්තා වේ.

දැනට වාර්තා වන අන්දමට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වාර්තා දෙකක් ඉදිරිපත් කිරීමට කෝප් කමිටුව තුල එකගතාවයක් ඇතිවී තිබියදීත් එජාප මන්ත්‍රීවරු ඉන් ඔබ්බටත් ගොස් විගනකාධිපතිවරයාගේ වාර්තාවේ අන්තර්ගත කරුණු පවා වෙනස් කිරීම සඳහා කෝප් කමිටු සභාපතිවරයාට බලපෑම් කර ඇත.

විගනකාධිපතිවරයාගේ වාර්තාවක් කෝප් කමිටුවට එසේ වෙනස් කළ නොහැකි බවත් ඒ සඳහා තමා කිසි විටක මෙම කමිටුවේ සභාපති ධූරය දරමින් ඊට ඉඩ නොදෙන බවත් අවශ්‍ය නම් තාවකාලික සභාපතිවරයෙක් පත් කර එජාප මන්ත්‍රීවරුන්ට එම කටයුත්ත කරගන්නා ලෙස දැනුම් දෙමින් සුනිල් හඳුන්නෙත්ති මහතා ඉවත්ව ගොස් ඇත.

LEAVE A REPLY