මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ඉල්ලීම් පිලිබඳ ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට අවශ්‍ය නීතිමය සහ ව්‍යවස්ථාපිත තත්ත්වයන් ඇති කරන බව ජනාධිපතිතුමා පවසයි.

මාධ්‍යවේදීන් දීර්ඝ කාලයක් ඉල්ලා සිටී එහෙත් නොලැබුණු අයිතිවාසිකම් සහ වෘත්තීය වරප්‍රසාද වත්මන් රජය යටතේ ලබාදිය හැකි උපරිම මට්ටමින් ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අද (30) පෙරවරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ 06 වන නියෝජිත සම්මේලනය අමතමිනි.

මාධ්‍ය නිදහස ආරක්ෂා කිරිම සහ මාධ්‍යවේදියාගේ වෘත්තීය අයිතීන් සුරක්ෂිත කිරීම හා පෝෂණය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා පසුගිය රජය යටතේ මාධ්‍යවේදින්ට එල්ල වූ තර්ජන සහ හිංසා පීඩාවන් ඉකුත් මාස 22 ක වත්මන් රජයේ පාලන කාලය තුළ වාර්තා වී නොමැති බවද කියා සිටියේය.

තමා මන්ත්‍රීවරයෙක් මෙන්ම ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන අවදියේ ද සෑම විටම මාධ්‍යවේදියාගේ අයිතිය තහවුරු කළ බව පැවසූ ජනාධිපතිතුමා උසස් ප්‍රමිතියකින් යුත් වඩාත් ගුණාත්මක මාධ්‍ය භාවිතයක් සඳහා ක්ෂේත්‍රයේ සියලූදෙනාගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ජනාධිපතිවරයා ලෙස කැප වී සිටින බව ද සඳහන් කළේය.

පසුගිය පාලන සමය තුළ රට හැර ගිය මාධ්‍යවේදීන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට මෙන්ම ඝාතනයට ලක්වූ සහ හිරිහැරයට ලක්වූ මාධ්‍යවේදින් පිලිබඳ සිදු කෙරෙන පරීක්ෂණ කඩිනම් කිරිමට රජය කැපවී සිටින බව පැවසූ ජනාධිපතිතුමා එම ඝාතන ඉතා ඉහළ විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදු කිරීම නිසා ඒ පිලිබඳ පරීක්ෂන කල්යාම වැළැක්විය නොහැකි බවද කියා සිටියේය.

මාධ්‍යවේදින්ගේ වෘත්තීය ඉල්ලීම් සහිත සංදේශයක් ද මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

එම ඉල්ලීම් ඉටු කිරීම සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ, කම්කරු අමාත්‍යාංශයේ සහ මාධ්‍ය සංගම්වල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරන බව පැවසූ ජනාධිපතිතුමා මාස දෙකකට වරක් එහි ප්‍රගතිය තමා වෙත වාර්තා කිරීමට උපදෙස් ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදින් ස්ථීර වැටුප් තලයක පිහිටුවීම සඳහා කමිටුවේ අවධානය යොමු කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

“රහස් බෑ, බොරු බෑ” තොරතුරු දැන ගැනීමේ අයිතිය යථාර්තයක් කරගනිමු, මහජන සේවා ජනමාධ්‍ය සංස්කෘතියකට බල කරමු, තේමාව යටතේ සම්මේලනය පැවැත්වුණු අතර දිවයිනම නියෝජනය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඊට එක්ව සිටියහ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා ද මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කරුණාරත්න ගමගේ, ලේකම් ධර්මසිරි ලංකාපේලි, ජාතික සංවිධායක කංචන කුමාර ආරියදාස යන මහත්වරුන් ඇතුළු එහි සාමාජිකයින් ද මීට එක්ව සිටියහ.

 

LEAVE A REPLY