මේ අය වැය සම්බන්ධයෙන් ගම් වැසියන් ප්‍රකාශ කරනු ලබන්නේ “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” යනුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙවර අයවැයෙන් විදේශකයින්ගේ බදු කපා හරිමින් ඔවුන් දිරිමත් කරමින් ඔවුන්ට පහසුවෙන් රටේ ඉඩම් මිලදී ගැනීමට හා ආයෝජනයට පහසුකම් සලසමින් දේශීය කර්මාන්තකරුවන් පීඩාවට පත්කර ඇති බව රාජපක්ෂ මහතා කියා සිටියේ අද (16) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.

දේශීය කර්මාන්ත හා දේශීය ආයෝජකයින් අධෛර්යමත් කිරීම තුළින් මෙන්ම විදේශිකයින්ට අපමණ සහන සැලසීම මගින් මෙරට විදේශයන්ගේ කොලණියක් බවට පත්කරලීමේ භයානක අත්දැකීමක පෙරනිමිති මෙවර අයවැයෙන් පෙනීයන බව ඔහු අවධාරණය කළේය.

සමෘද්ධි ලාභීන්ට හාල් කිලෝ 5ක් ලබාදීමට යෝජනා කර ඇති නමුත් ඒ සඳහා මුදල් ලබා ගැනීම කර ඇත්තේද සමෘද්ධි ලාභීන්ගේ සහනාධාර මුදල් මහා පරිමාණයෙන් කපා හැරීමෙන් බව රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ආදායම් බදු 12%ක සිට 28% දක්වා වැඩිකිරීමට අයවැයෙන් යෝජනා කර ඇති බව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා 85%ක් ජනතාවගේ වක්‍ර බදුවලින් අයකර ගැනීමට අපේක්ෂා කරන බවත්,එමගින් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ක්‍රමයෙන් ඉහළයනු ඇති බව අවධාරණය කළේය.

හම්බන්තොට වරායද,ඒ ආශ්‍රිත ඉඩම් අක්කර 15,000ක ප්‍රමාණයක්ද විදේශීය සමාගමකට විකුණා දැමීමට ආණ්ඩුව විසින් පිඹුරුපත් සකසා අවසන් බවත්,රටේ සම්පත් විදේශයන්ට විකුණාදැමීම එජාපයේ සම්ප්‍රදායික පිළිවෙත වන නමුත් එම පාප කාර්මයට කර ගැසීමට ඇතැම් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ටද සිදුවීම ඉතා කනගාටුදායක බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY