රාජ්‍ය සම්පත් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට රිමාන්ඩ් ගත කරන ලද හිටපු නියෝජ්‍ය ඇමැති විනායගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා කැප්පෙටිපොල වැනි ‘ජාතික නිදහසේ උරුමක්කාරයෙක්’ බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

 මහින්ද රාජපක්ෂ පාලන සමයේ අමාත්‍යාංශය යටතේ තිබූ වෙඩි නොවදින රථයක් ආපසු භාර නොදීමේ චෝදනාවට විනායගමුර්ති මුරලිදරන් මහතා දෙසැම්බර් 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ විරෝධය පල කරමින් මන්ත්‍රීවරයා එබව කියා සිටියේය.

පසුගිය මැතිවරණ සමයේ මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධයෙන් ‘මෙගා ඩීල්’ යනුවෙන් හඳුන්වන ලද්දේ හිටපු ඇමැති කරුණා සිදුකළ වාහන අවභාවිතාව වැනි කටයුතු බව උදය ගම්මන්පිල මහතාගේ අදහසවිය.

“එතුමා කැප්පෙටිපොල සහ අංගුලිමාල වැනි අඳුරෙන් එලියට ආ කෙනෙක්. වැරදි පිලෙන් හරි පිලට ආ කෙනෙක්,”

කරුණා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට චෝදනා ලබා රිමාන්ඩ් ගත කොට සිටින පිල්ලෙයාන් නමින් ප්‍රකට නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නැගෙනහිර එල්ටීටීඊ යෙන් මුදා ගැනීමේ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ බව බව ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේය.

“රට බෙදන පිලෙන් රට රකින පිලට එකතුවී, බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට තීරණාත්මක කාර්ය භාරයක් කළ,” අයකු ලෙස හිටපු නියෝජ්‍ය ඇමැති කරුණා හැඳින්වූ උදය ගම්මන්පිල මහතා, මරාගෙන මැරෙන මිනිස් බෝම්බ පුපුරවා සියගණන් මරා දැමීම පිලිබඳ බරපතල චෝදනා ඇති අය නිදහස් කිරීමට රජය සැරසෙන බවට චෝදනාවක්ද කළේය.

LEAVE A REPLY