උතුරේ දෙමළ ජනතාවගේ ගැටලූ විසදීම ද තම යුතුකමක් ලෙස සලකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඉන්දියාවේ හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවක සහභාගි වෙමින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ එය තමාට පැවරුණු වගකීමක් පමණක් නොවන බවයි. සංහිදියාව දින කිහිපයකින් ඇතිකළ හැක්කක් නොවේ.
නිදහස ලැබීමෙන් පසු දකුණේ නායකයන් උතුරේ සංචාරය කළේ කලාතුරකින් වුවත් පසුගිය මාස 22 දෙක තුළ තමා 11 වතාවක් උතුරේ සංචාරය කළ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
එම සංචාරයන්හිදී එහි ජනතාව සමග සාකච්ඡා කොට ඍජුව ඔවුන්ගේ අදහස් විමසූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කළා. තමාට උතුරේ ජනතාව අතුරෙන් සියයට 90 ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඒ තමා ඔවුන්ගේ ගැටලූ විසදනු ඇතැයි අපේක්ෂාවෙන් බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
නව ව්‍යවස්ථාව මගින් සියලූ ජන ප්‍රජාවන් අතර, සංහිදියාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා අවධාරණය කළා. එහිදී දකුණේ සිංහල – බෞද්ධ බහුතර ජනතාව ද තෘප්තිමත් විය යුතුයි. ඔවුන්ගේ එකගත්වයකින් තොරව සාර්ථක සංහිඳියා ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ නොහැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
මේ නිසා සංහිදියා ක්‍රියාවලිය සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ජනකොටස්වලට පිළිගත හැකි යාන්ත්‍රණයක් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියා.
එය පහසු කාර්යයක් නොවුණ ද එම අභියෝගය ජය ගත යුතු බව ජනාධිපතිවරයා සදහන් කළා.
නැවත කිසිලෙසකින් හෝ රට තුළ ගැටුම්කාරි වාතාවරණයක් ඇතිවීමට ඉඩ නොදිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

LEAVE A REPLY