රාජපක්ෂ පාලන සමය තුළ බලය අවභාවිතාවේ යොදවමින් සුරසැප වින්දේ, නීතියට සිනාසුණේ ඒ පවුලේ සාමාජිකයන් පමණක් නොවේ. ඔවුන්ගේ අන්තේවාසිකයෝ ද එය අඩුවැඩි වශයෙන් භුක්ති වින්දහ. හිටපු මන්ත්‍රී ශ්‍රී රංගා ජයරත්නම් ද එවැන්නෙක් විය. මහා මාධ්‍ය වීරයෙකු ලෙස පිටතට පෙනී සිටීම් කළමුත් ශ්‍රී රංගා රාජපක්ෂවරුන් සමඟ සමීප ගනුදෙනුවක නිරත වූ බව ප්‍රසිද්ධ කාරණයක් විය. විශේෂයෙන්ම ඔහු නාමල් රාජපක්ෂගේ සමීපතම මිතුරු කවයේ සාමාජිකයෙක් විය. එකවර මාධ්‍යකරුවෙකු හා දේශපාලනඥයකු ලෙස ද්විත්ව භූමිකා රඟපෑ ශ්‍රී රංගා මීට වසර පහකට පෙර සිදුවූ රිය අනතුරකදී අධිකරණය නොමඟ යැවූ ආකාරය සම්බන්ධයෙන් වැදගත් අනාවරණයන් රැසක් දැන් දැන් හෙළි වෙමින් පවතී. සැබැවින්ම එය රාජපක්ෂ සමයේ නීතියේ පාලනය අවභාවිතා වූ වගට ඇති තවත් කදිම සාක්ෂියක්මය.

එක් පුද්ගලයකුට මරු කැඳවූ මෙම මාරක රිය අනතුර සිදුව තිබුණේ වවුනියාවේ සෙට්ටිකුලම් රෝහල අසලදීය. මඩු බලා ගමන් කළ රංගාගේ ලෑන්ඩ් කෲසර් වර්ගයට අයත් මෝටර් රථය 2011 මාර්තු 31 වැනි දින පළමුව සෙට්ටිකුලම් රෝහල අසල පලු ගසක වැදී අනතුරුව කොන්ක්‍රීට් කණුවක ගැටි රෝහල් භූමිය වටා ඉදිකර තිබු තාප්පයේ ගැටිණි. එම අනතුරින් රංගාගේ ඇමැති ආරක්ෂකයා වූ ජී. ආර්. ජයමිණි උදය පුෂ්පකුමාර මිය ගියේය. පොලිස් සැරයන්වරයකු ලෙස කටයුතු කළ ඔහුගේ සේවා අංකය 36759 විය.

එම අනතුරින් සෑහෙන අලාභ හානි මන්ත්‍රීවරයාගේ මෝටර් රථයට සිදුව තිබූ අතර අනතුර සිදුවූ පසු අසීරුවෙන් හුස්ම ගනිමින් සිටි රථයේ ඉදිරි පෙළ වම්පස අසුනේ ගමන් කළ ජයමිනි පුෂ්පකුමාරව ඉන් පිටතට ගැනීමට රැස්ව සිටියවුන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය. පළමුව සෙට්ටිකුලම් රෝහලට රැගෙන ගිය පුෂ්පකුමාරව එතැනින් වවුනියාව හා අනුරාධපුර රෝහල් කරා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉක්මනින්ම යොමු කළමුත් ඒ අනතුර සිදුව ඔහුට ජීවත්වීමට වාසනාව ලැබුණේ පැය කිහිපයක් පමණි. රිය අනතුර පිළිබඳව සැබෑ කුමන්ත්‍රණය ඇරැඹුණේ ඉන් පසුවය

මන්ත්‍රී ශ්‍රී රංගාගේ රියැදුරු ලෙස එම අනතුර සිදු වූ සමයේ කටයුතු කළේ “මෝහන්” නම් තැනැත්තෙකි. නමුත් එම අවාසනාවන්ත දිනයේ කුමන හෝ හේතුවක් නිසා ඔහු රාජකාරියට වාර්තා කර තිබුණේ නැත. එම නිසාම මඩු බලා යන ගමනේදී සුක්කානම කැරකීමේ වගකීම සිය කැමැත්තෙන්ම ශ්‍රී රංගා භාර ගත්තේය. රංගාගේ රිය පැදවීම මහමඟ ධාවනයකට වඩා, වඩාත් ගැළපුණේ මෝටර් රථ ධාවන තරගයකටය. ඔහු ඒ තරම් වේගවත් රියැදුරෙක් විය. තම රියැදුරන්ට පවා රංගා නිතරම උපදෙස් දුන්නේ, හැකි තරම් “පාගන” ලෙසය. මෙම අධික වේගය නිසා රංගා ගමන් කළ මෝටර් රථ අනතුරට භාජනය වූයේ වරකදී, දෙවරකදී නොව වරක් දඹුල්ල මාතලේ මාර්ගයේ නාඋල ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් ජීප් රථයක් ගසක වැදී ගිනි ගත් අතර පාලනය කර ගත නොහැකි අධික වේගය ඊට බලපෑ ප්‍රධාන හේතුව විය.

මේ මෑතකදීත් රංගා ගමන් ගත් වාහනයක් ඇළකට පෙරළී තිබිණි. රංගා හා සබැඳි රිය අනතුරු පිළිබඳ කතා කිරීම අපගේ අරමුණ නොවේ. එය අපගේ ප්‍රධාන ප්‍රස්තුතයට බාධාවකි. එබැවින් අදාළ කාරණයට අවධානය යොමු කිරීම වැදගත්ය.
සෙට්ටිකුලම් රිය අනතුර නිසා ජයමිණි පුෂ්ප කුමාර මියයෑමත් සමඟ ශ්‍රී රංගා බෙහෙවින් කලබලයට පත් විය. තම ආරක්ෂකයාගේ මරණය හේතුවෙන් දින කිහිපයක් හෝ සිරගතව සිටීමට සිදුවන බව හෙතෙම හොඳාකාරවම දැන සිටියේය. ඒ නිසාම තම කොළඹ හිතමිතුරන්ගේ හා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල තරුණ දේශපාලනඥයකුගෙන් ලැබුණු උපදෙස් මත ඇත්ත නැත්ත කිරීමේ කතාන්දරය ඔහු ඇරැඹුවේය. ඒ කතාන්දරයේ පිටපත අනුව ජයමිනි පුෂ්පකුමාරව රියැදුරු අසුනට යා යුතු වූ අතර රංගා වම්පස අසුනට මාරු විය යුතු විය. අනතුර සිදුවෙද්දී තෙවැන්නෙක් ද ජීප් රියේ සිටි අතර ඔහු ද ඇමැති ආරක්ෂක අංශයට සම්බන්ධ පොලිස් නිලධාරියෙකි. අනතුර සිදුවෙද්දී මෙන්ම රංගා පසුව සැකසු පිටපතට අනුව ද ඔහු අසුන්ගෙන සිටියේ රියදුරු අසුනට පසු අසුනේ දකුණු පසට වන්නටය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම තුළ ඇති සිවිල් බලය නිසා ඇත්ත බො‍රුව කිරීම ඒ හැටි අපහසු නොවීය. රංගා සැකසු පිටපතට අනුව අනතුර සියැසින් දුටු හා තුවාලකරුවන් රෝහල් කරා රැගෙන යාමට මැදිහත් වූ සාක්ෂිකරුවන් ද තම සාක්ෂි ලබාදුන් අතර පොලීසියට ද ඊට අනුගත වෙනවා හැර වෙනත් විකල්පයක් නොවීය.

මියගිය ජයමිණි පුෂ්පකුමාරගේ ගිණුමට මෙම රිය අනතුර බැර වූයේ ඒ ආකාරයටය. ජයමිණිට තමන් වෙතින් අසාධාරණයක් වූ බව ශ්‍රී රංගා හොඳාකාරවම දැන සිටියේය. ඕනෑම කෙනෙකු රැවටිය හැකි වුවද තමන්ගේ හෘදය සාක්ෂිය රැවටීම ඒ හැටි පහසු නොවේ. ශ්‍රී රංගාට ද එය එසේ විය. ඒ නිසාම තමන්ට සෑහෙන කලක් සේවය කළ ජයමිණිගේ මෘත දේහයට ආචාර කිරීමට හෝ ධෛර්යයක් ඔහුට නොවීය. මළගෙදර වැඩට යැයි කියමින් 50,000ක් පමණක් ඔහු එවා තිබිණි. දේහය භූමිදානය කිරීමෙන් අනතුරුව ද ජයමිණිගේ පවුලේ සාමාජිකයන්ට “සැලකීමේ” අදහසක් ශ්‍රී රංගාට නොවීය. ඔහු දිගටම “වෙස් මුහුණු” පැලඳීමට ප්‍රිය කළේය. තම පවුලේ ආර්ථික දුෂ්කරතා සලකා බලා උදවුවක් කරන ලෙස ජයමිණිගේ බිරිය වූ ජේ. බී. චාන්දනී රම්‍යලතා ඉල්ලීම් කළ සෑම අවස්ථාවකදීම රංගා බොරු පොරොන්දු දුන්නේය. ජයමිණිගේ දරුවන් තිදෙනාට හොඳ පාසල් හා නිවසක් ඉදිකර දෙන බවට රංගා පොරොන්දු වූවත් ඒ කිසිවක් ඇත්තක් වූයේ නැත.

තම සැමියාගේ අකල් මරණය හා ඉන්පසු රංගා ගෙතු පිටපත පිළිබඳව සැබෑ තොරතුරු දැන ගැනීමෙන් පසු රම්‍යලතා, ජයමිණිගේ මරණයට සාධාරණයක් පතා මානව හිමිකම් කොමිසම පොලීසියේ පිහිට පැතුව ද රංගාගේ දේශපාලන බලය තුළ ඇයට වැඩිදුර ගමන් කළ නොහැකි විය. රාජපක්ෂ පාලනය තුළ ශ්‍රී රංගා අසවල් යැයි කිව හැකි ඍජු භූමිකාවක් රඟ නොපෑව ද ඔහු පාලක කවයේ සමීපතම හිතවතෙක් විය. ඒ නිසාම තම මිතුරාගේ ආරක්ෂාව වෙනුවෙන් පැවැති පාලන තන්ත්‍රය කොන්දේසි විරහිතව පෙනී සිටීම් කළේය.

1971 වසරේ ජනවාරි 22 දා මෙලොව එළිය දුටු ශ්‍රී රංගා ජෙයරත්නම් වවුනියා දෙමළ මධ්‍ය විද්‍යාලයෙන් හා යාපනය හින්දු විදුහලෙන් අධ්‍යාපනය හැදෑරුවේය. ඉගෙනීමේ දක්ෂතා පෙන්නූ ඔහු ඒ නිසාම වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට සුදුසුකම් සපුරා ගත්තේය. ක්‍රීඩාවට ද දක්ෂ වූ ශ්‍රී රංගා සරසවි සමයේදී විශ්වවිද්‍යාල පාපන්දු කණ්ඩායමේ නායකත්වය ද දැරිය. දේශපාලනය පිළිබඳව ඉහළ උනන්දුවක් රංගාට මුල සිටම විය. ඩග්ලස් දේවානන්දගේ සම්බන්ධීකාරකයකු වූ ඔහු චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ මහින්ද රාජපක්ෂ මහතා ධීවර ඇමැති ධුරය දැරූ සමයේදී ඔහුට වඩාත් කිට්ටු විය. ඒ කාලයේදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා ද මහින්දගේ උපදේශකවරයකු ලෙස කටයුතු කළේය. ශ්‍රී රංගා මහින්දට කිට්ටු වූයේ එක් පසකින් ආරක්ෂාව පිළිබඳ මානයෙන් වුවද දේශපාලන හිණිමගේ ඉහළ යෑමට ඔහු තුළ වූ ආශාව ද ඊට සමගාමීව වැඩ කළේය. ඒ යුගයේ එල්. ටී. ටී. ඊ. යේ ක්‍රියාකාරිත්වය උපරීමයට පැමිණ තිබු අතර එම තත්ත්වය තුළ ඊට ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ට දේශපාලනය කිරීම පහසු නොවීය. උතුරේ හෝ දකුණේ කියා එහි වෙනසක් නොවීය.

දේශපාලනයටත් වඩා මුලදී ශ්‍රී රංගා වඩා කැපී පෙනෙන්නට වූයේ මාධ්‍යවේදියකු ලෙසය. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු එම්.බී.සී. මාධ්‍ය ආයතනයට එක්වූ ඔහු ශක්ති එෆ්. එම්. හි විකාශය වූ “එරිමලෙයි” (ගිනි කන්ද) වැඩසටහන මෙහෙයවීය. පසුව රූප මාධ්‍යයට එක්වූ ශ්‍රී රංගා “මින්නල්” (අකුණ) වැඩසටහනෙහි ඉදිරිපත් කරන්නා විය. එය ඔහුට තමන්ගේම කියා අනන්‍යතාවක් නිර්මාණය කර දුන්නේය. වතු දෙමළ තරුණයන් අතර එම වැඩසටහන අතිශයින්ම ජනප්‍රිය වූ අතර එය ශ්‍රී රංගාව ක්‍රියාකාරි දේශපාලනයට රැගෙන ඒම කඩිනම් කළේය. ශ්‍රී රංගාගේ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ඇත්තේ විවිධ වූ කියවීම්ය. වැඩසටහන මෙහෙයවන පුද්ගලයා ලෙස කටයුතු කළ ද ඔහු නිතරම උත්සාහ කළේ තම මතය තහවුරු කිරීමටය. එම වැඩසටහනට සම්පත් දායකයින් ලෙස සම්බන්ධ වූවන්ට හැම විටම ලැබුණේ අඩු සැලකිල්ලකි.

දේශපාලනයේ ඉහළ යෑමට සිහින දුටු ශ්‍රී රංගාගේ සිහිනයට ලොකුම සහාය ලබා දුන්නේ ඔහුගේ ස්වාමියා වූ රාජා මහේන්ද්‍රන් ය. විලුදගල් නම් රාජ්‍ය නොවන සංවිධානය පවත්වාගෙන ගිය ශාන්ති සච්චිතානන්දන් හා එක්ව ශ්‍රී රංගා පුරවැසි පෙරමුණ නම් පක්ෂයේ අයිතිය තහවුරු කර ගනිද්දී ඊට අවශ්‍ය සම්පූර්ණ සහාය ඔහුගේ හාම්පුතාගෙන් නොමඳව හිමි විණි. පුරවැසි පෙරමුණේ අයිතිය ඒ වන විට හිමිව තිබුණේ හිටපු ඇමැතිවරයකු වූ සිරිසේන කුරේටය.

2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී රංගාගේ පුරවැසි පෙරමුණ එජාපයට සහාය දැක්වීය. රංගා නුවරඑළිය දිස්ත්‍රික්කයට එ. ජා. පෙරමුණු අපේක්ෂකයකු ලෙස තරග කළ අතර ඔහු මනාප 33,948ක් ලබමින් පහසු ජයක් හිමි කර ගත්තේය. කෙසේ වෙතත් ශ්‍රී රංගා හා එජාපය අතර දීගයට වැඩි ආයුෂ නොවීය. එය පැවැතියේ කෙටි කාලයකි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් මුල් කරගනිමින් රාජා මහේන්ද්‍රන් හා එජාපය අතර විරසකයක් නිර්මාණය වූ අතර තම ස්වාමියාගේ මතය සමඟ සිට ගැනීමට එහිදී රංගාට සිදු විණි. එතැන් සිට ඔහු කටයුතු කරන්නට වූයේ එජාප විරෝධි ස්ථාවරයක සිටය. රාජපක්ෂ පාලනයට ඍජුව හේත්තු නොවුණ ද ශ්‍රී රංගාගේ ස්ථාවර ඒ සමඟ හොඳින් පෑහුණි.

හිටපු ජනාධිපතිවරයාට හා නිදහස් සන්ධාන රජයට ප්‍රසිද්ධියේ සහාය පළ නොකළ ද ශ්‍රී රංගා ආණ්ඩුව තුළ සෙසු සුළු ජාතික ඇමැතිවරුන්ට සාපේක්ෂව “ඇඳගෙන” සිටි පුද්ගලයෙක් විය. දෙමළ බස කතා කරන දේශපාලනඥයන්ව තම වැඩසටහනට ගෙන්වමින් රංගා නිතරම ඔවුන්ව අමාරුවේ දැමීමට හා හෑල්ලුවට ලක් කිරීමට කටයුතු කළේය. ඒ තුළ මාධ්‍ය කේන්ද්‍රියව වීරයකු වීම ඔහුගේ අරමුණ බව බැලු බැල්මටම පෙනෙන්නට විය. නමුත් එය දෙමළ බස කතා කරන සෙසු දේශපාලනඥයන් හා ඔහු අතර පැහැදිලි විරසකයක් නිර්මාණය කළේය. මාධ්‍ය ඔස්සේ සෙසු සුළු ජාතික දේශපාලනඥයන්ව කටගැස්මට ගත් රංගා ඔවුන් සම්බන්ධව ඕපා දූප ද අඩු නැතිව ප්‍රචාරය කළේය. ඒ නිසාම වරක් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගෙන් කම්මුල් පහර කිහිපයක ඉලක්කය වීමට රංගාට සිදුවිණි. 2014 වසරේ දෙසැම්බර් මාසයේ තුන්වන සතියේ එය සිදුවූයේ අරලියගහ මන්දිරයේදීය.

එදින ශ්‍රී රංගා අරලියගහ මන්දිරයට පැමිණ සිටියේ අම්පාර දිස්ත්‍රික් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ එච්. එම්. හාරිස්ව ද කැටුවය. ඒ වන විට මධ්‍යම රාත්‍රියට ද ආසන්නව තිබු අතර රංගා හා හාරිස් සිටි මේසයට මඳක් ඈතට වන්නට සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් එම පක්ෂයේ ලේකම් වයි. එල්. එස්. හමීඩ් හා අමීර් අලි ඇතුළු පිරිසක් අසුන්ගෙන සිටියහ. ඔවුන් එහි පැමිණ සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය සමඟ අත්සන් කිරීමට නියමිතව සිටි අවබෝධතා ගිවිසුමේ පිටපතක් ද සහිතවය. ජනාධිපතිවරණය කැඳවීමත් සමඟ තම පක්ෂය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව බදුර්දීන් මහතා ප්‍රකාශ කර තිබිණි. තමන්ට මඳක් ඈතින් ශ්‍රී රංගා සිටිනු දුටු බදුර්දීන් අමාත්‍යවරයා එවකට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් ද සිටි එම ස්ථානයට ගියේය. ඒ වන විට සෙනරත් තම රාත්‍රී භෝජනය අනුභව කරමින් සිටියේය. රංගා ඔහු අසල විය. “පහත් පෙළේ දෙපිටකාට්ටුවන්ව වැද්දගන්නේ ඇයි?” සෙනරත්ට කිට්ටු වූ බදුර්දීන් තරමක සැර භාෂාවෙන් විමසුවේය. එවිට ශ්‍රී රංගා පැවසුවේ මන්ත්‍රී රවී කරුණානායකගේ නිවසේදී බදුර්දීන් මංගල සමරවීර මහතා හමුවූ බවය. තමන් ඒ බව මහින්ද රාජපක්ෂ මහතාට ද පැවසු බව රංගා උජාරුවෙන් සඳහන් කළේය. එය බදුර්දීන්ව සෑහෙන කෝප ගැන්වීමට සමත් විය. රාජපක්ෂ මහතාගේ සහ මන්ත්‍රී නාමල්ගේ නම් රංගා විකුණන බව උස් හඬින් කී බදුර්දීන් “මේ ආණ්ඩුව නැත්තටම නැතිවෙන්නෙ මූ නිසයි” යනුවෙන් පැවසීය. ඒ සමඟම ශ්‍රී රංගා ඇමැතිවරයා සිටි ස්ථානයට පැමිණි අතර ඒ අවස්ථාවේදී බදුර්දින් ඔහුට කම්මුල් පහර දෙකක් එල්ල කළ බව පසුව වාර්තා විය. රාජපක්ෂවරුන් සමඟ ශ්‍රී රංගා රැඳී සිටිම බදුර්දීන්ගේ කෝපයට හේතු වූ අතර ඔහු පොදු අපේක්ෂකයාගේ කඳවුරට එකතු වීමේදී එය ද එක් හේතුවක් විය. පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී රංගා හිටපු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සහතික කරලීමේ අපේක්ෂාවෙන් තිරයෙන් පිටුපස සෑහෙන කාර්යභාරයක් ඉටු කළ අතර තමිල්නාඩුවේ සුප්‍රකට “නාන්ති” ටෙලිවිෂන් ආයතනය රාජපක්ෂ මහතාව සම්මුඛ සාකච්ඡාවට බඳුන් කළ අවස්ථාවේදී පසුතල නිර්මාණය ඇතුළු ආලෝක පරිපාලනය හා රාජපක්ෂ මහතා ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය යුතු ආකාරය ඉගැන්වූයේ ශ්‍රී රංගාය.

වෘත්තීය ජීවිතයේදී තමන්ට උදවු කළ පුද්ගලයන්ට කළගුණ සැලකීමට තරම් “හොඳ පපුවක්” රංගාට නොවීය. ශක්ති ටීවී වෙත ආ අවස්ථාවේදී රූපවාහිනී කැමරාවට මුහුණදිය යුතු ආකාරය ඔහුට කියා දුන්නේ රමණිදරන් නම් නිෂ්පාදකයාය. නමුත් ක්‍රමයෙන් ස්ථාවර වූ ශ්‍රී රංගා කළේ තමන්ට ගුරුහරුකම් කළ රමණිදරන්ට එළවා එළවා පහර දීමය. එබඳු අපකීර්තිමත් වාර්තාවක් සහිත පුද්ගලයකුගෙන් ජයමිණිට හෝ ඔහුගේ කුටුම්බයට සාධාරණයක් බලාපොරොත්තු වීම අර්ථ විරහිතයක්ය. කෙසේ වෙතත් ජයමිණිගේ මරණය සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් කරන මෙන් ඉල්ලමින් ඔහුගේ බිරිය රම්‍යලතා මේ වන විට යළි අධිකරණය හමුවට ගොස් තිබේ. ඊට අදාළ මූලික නඩු විභාගය පසුගිය ජූනි 22 දා පැවැති අතර මීළඟ නඩු විභාගය ඔක්තෝබර් 26 ට නියම කර ඇත. පසුගිය රජය සමයේ දේශපාලන බලපෑම් මත අසාධාරණයට හා අගතියට පත්වූ තම ස්වාමිපුරුෂයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් යහපාලන රජය යටතේ ඉටු වනු ඇති බවට දැඩි විශ්වාසයක් ඇයට තිබේ. ඇයගේ එම විශ්වාසය වඩාත් තාර්කික එකක් කරමින් මේ පිළිබඳව පරීක්ෂණ බලපෑමකින් තොරව නව වටයකින් ආරම්භ වී තිබීම ප්‍රශංසනීයය.

srirangawithjaffna-colombotelegraph

 

LEAVE A REPLY