හෙට දිනයේ කිසිඳු වැඩ වර්ජනයක නිරත නොවන බව දුම්රිය වෘත්තීය සමිති සංගමය පවසයි.

අද (01) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග පැවති සාකච්ඡාවේදී දුම්රිය වෘත්තීය සමිති සංගමය මෙම තීරණයට එළැඹ තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක අයිතිවාසිකම් කිහිපයක් රැක ගැනීම සඳහා ඔවුන් අද මධ්‍යම රාත්‍රීයේ සිට සංකේත වැඩ වර්ජනයක නිරතවීමට නියමිතව තිබුණි.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද අද පස්වරුවේ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවකට එක් විය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද අද මධ්‍යම රාත්‍රීයේ සිට පැවැත්වීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනය සඳහා එක් නොවන බව මෙහිදී සඳහන් කෙරිණි.

නව දඩ ක්‍රමය ක්‍රියාත්මකවීමට මෝටර් රථ පනත සංශෝධනය කර එය නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ද ඉදිරිපත් කර සම්මත කරගත යුතුය.

වමෙන් ඉස්සර කිරීම සහ අධික වේගයෙන් රිය පැදවීම යන කරුණු පිලිබඳව ඉදිරියේ දී සාකච්ඡා කර යම් යම් එකඟතාවයන්ට එළැඹිමේ වාතාවරණයක් පවතින බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ යන මහත්වරුන් ද සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY