දිවිත්ව ශතකයක් ලබා ගැනීමට තිබු පහසුම අවස්ථාව මඟ හැරීම කණගාටුවට කරුණක් වුවත් එක් අතකින් බලන විට එය එසේ සිදුවීම අනාගතයට සුබදායි පෙරනිමිත්තක් ලෙස තමන් සලකන බව ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පවසයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරග වැදි පළමු දිවා / රාත්‍රී ටෙස්ට් තරඟයේදී දිවිත්ව ශතකයක් පෙනී පෙනී තිබියදී ලකුණු 196කට දැවී ගියද තරගයේ වීරයා සම්මානයෙන් පමණක් නොව තරගාවලියේ වීරයා සම්මානයෙන්ද දිමුත් පිදුම් ලැබීය. ඒ සම්බන්ධව තරගයෙන් අනතුරුව කරන ලද විමසීමේදී හැඩකාර වමත් ආරම්භක පිතිකරුවා ඉහත අදහස් පළ කර සිටියේය. මෙම තරඟාවලියේදී දෙපිලේම වැඩිම ලකුණුලාභියා බවට පත්ව සිටින දිමුත් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 76.5ක් ලෙස රඳවාගනිමින් ලකුණු 306ක් රැස් කරගැනීමට සමත්ව තිබේ.

ඇත්තටම දිවිත්ව ශතකයක් ලබා ගැනීමට නොහැකිවීම ගැන දුකයි. ඒත් 200 ක් ලබාගන්න බැරි වෙච්ච එක එක අතකට හොඳයි කියලත් හිතෙනවා. මොකද එය ඉදිරියේදී ලකුණු 200ක් ලබා ගන්න මාව තව තවත් උනන්දු කරවන තත්ත්වයකට පත් කරන නිසා” යැයි දිමුත් පැවසීය.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි පිතිකරුවා ලෙසින් සැලකෙන කුමාර් සංගක්කාර ඉකුත් 2015 වසරේදී නවසීලන්තයේ පිලට එරෙහිව වෙලින්ටන්හිදී ලබාගත් ලකුණු 203 ක ද්විත්ව ශතකයෙන් පසු කිසිම ශ්‍රී ලංකා පිතිකරුවකු ද්විත්ව ශතකයක් රැස් කර ගැනීමට අසමත්ව තිබේ.

“ඔව් කුමාර් සංගක්කාර අයියට පස්සේ මෑතකදී කවුරුත් 200 ක් ගහලා නැහැ. මට හම්බවෙච්ච ලොකු අවස්ථාවක් මඟ අරුණා. අනෙක් එක රෝස පන්දුවෙන් ක්‍රීඩා කළ පළමු තරගයේදීම 200ක් ලබාගත්ත නම් ඒකත් වාර්තාවක් වෙනවා. මට අවස්ථාවක් තිබ්බා ඒක ලබාගන්න. ඒත් අවාසනාවකට ඒක මට කරගන්න හම්බවුණේ නැහැ. ඊළග අවස්ථාවේදී ඒ දේ ලබාගන්න මම ගොඩක් මහන්සි වෙනවා ” යි දිමුත් වැඩිදුරටත් පවසයි.

ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරන ලද සනත් ජයසූරිය සහ මාවන් අතපත්තුට පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරන ලද පිතිකරුවා බවට පත්ව සිටින්නේද දිමුත් කරුණාරත්නය. ඔහු මේ වන විට තරග 44කදි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 36.86 ක් ලෙස රඳවා තබා ගනිමින් මුළු ලකුණු 3060 ක් රැස් කරගෙන තිබේ.

“ලොකු ඉලක්කයක් කියලා එකක් නැහැ. මම හැම තරගයකටම ක්‍රීඩා කරන්නේ ගොඩක් වෙලා පන්දුවට පහර දෙන්න හිතාගෙන. එහෙම වුණොත් අනෙක් අයටත් පීඩනයක් නැතිව ක්‍රීඩා කරන්න පුළුවන් වෙනවා. හැබැයි මගේ ටෙස්ට් දිවිය ආවසනයේදී ශතක 20ක් 25 ක් මගේ නෑමට යටින් තියෙනවා නම් මම ගොඩක් සතුටු වේවි” යැයි පවසන දිමුත් ඇතැම් විට එය ඊට වැඩිවීමට ඉඩ තිබෙන බවද සඳහන් කර සිටියේය.

මෙහිදී කුමාර් සංගක්කාරගේ වාර්තාවන් පසුකර යාමේ හැකියාව පවතින්නේද යන්න කරලා ලද ප්‍රශ්න කිරීමේදී “ඔව්. කරන්න පුළුවන්. දැන් යන විදියට මට ගොඩක් විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා කරන්න පුළුවන් කියන එක ගැන. ඒ විශ්වාසය මට වටියි ඉස්සරහට ලොකු ඉනිම් ක්‍රීඩා කරන්න “යැයි දිමුත් අනතුරු අඟවා සිටියේය.

තමන් තුළ ගොඩනැගී තිබෙන විශ්වාසය පිටුපස ශ්‍රී ලංකා ටෙස්ට් පිළේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කාන හෂාන් තිලකරත්න මහතා සිටින බවද සඳහන් කරන දිමුත්, විදේශ සහ වෙනත් පුහුණුකරුවන්ට වඩා හෂාන් මහතා සිතන විදිය වැඩ වෙනස් බවත් ඔහුගෙන් ඉගෙන ගත හැකි කරුණු බොහෝ තිබෙන බවත් සඳහන් කර සිටියේය.