ලබන වසරේ දී මෙරට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල සංවිධානය කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී පැවති අතර එහිදී අධිකරණ  හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ජනාධිපතිවරයා මෙම උපදෙස්  ලබා දී ඇති බව සඳහන්ය.

බෞද්ධ රටවල් කේන්ද්‍ර කරගනිමින් සෑම වසරකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය 2017 වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ ප්‍රථම වරටය.

උත්සවය සඳහා ඉන්දියාව, චීනය, ජපානය, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, මියෙන්මාරය, ටිබෙටය ඇතුළු බෞද්ධ රටවලින් ගිහි පැවිදි නියෝජිතයින් දහසකට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.

ඒ අනුව මෙම වෙසක් සැමරුම් උළෙල අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ සාකච්ඡාවේ දී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

එහි ප්‍රගතිය අධීක්ෂණය කිරීමට  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මසකට වරක් රැස්වීමක් පැවැත්වීමට ද මෙහිදී තීරණය වු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.