අන්තවාදී සංවිධානයක් වන අයි.එස් සංවිධානයට බැඳුණු ශ්‍රී ලාංකිකයින් ගැන හෝ එවැනි සංවිධාන මෙරට ආගමික දේශන පවත්වන බවට වාර්තාවී නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

තමා මේ බව ප්‍රකාශ කරනු ලබන්නේ රහස් ආරක්ෂක වාර්තා පදනම් කරගෙන බව අමාත්‍යවරයා කියා සිටියේ අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මීට පෙරාතුව එක පවුලක සිව්දෙනෙකු අයි.එස් සංවිධානයට බැඳී ඇති බව වාර්තාවූ නමුත් එම පිරිසද බොහෝ කාලයකට ඉහතදී ශ්‍රී ලංකාව හැර ගොස් වෙනත් රටක ජීවත්වූ පිරිසක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව මෑතකදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අයි.එස් සංවිධානයට ලාංකිකයින් 37 දෙනෙකු බැඳී ඇති බවට කළ ප්‍රකාශය අසත්‍යක්දැයි මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව ඊට ප්‍රතිචාර දැක්වූ සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ ඊට තමා සෘජු පිළිතුරක් ලබාදුනහොත් හෙට දින පුවත්පත්වල “රාජපක්ෂ බොරු කීවා-රාජිත කියයි”යනුවෙන් පුවත් පළවෙනු ඇති බවයි.

එබැවින් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා බොරු කීවාදැයි තමන් නොකියන නමුත් අයි.එස් සංවිධානයට ලාං‍කිකයින් කිසිවෙකු බැඳී නොමැති බව පමණක් කිවහැකි බව ඔහු සඳහන් කළේය.

එසේම විදේශයන්ගෙන් පැමිණ අන්තවාදී ඉස්ලාමීය සංවිධානවල නියෝජිතයින් දේශන පවත්වන බවට එල්ලවන චෝදනාවද,අසත්‍යයක් බව ප්‍රකාශ කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයා, බේරුවල ප්‍රදේශයට එලෙස පැමිණෙන පිරිස් ගැන එන්.අයි.බී යෙන් පරීක්ෂණ පවත්වා රටට ඇතුළුවන්නට ඉඩදී ඇති බවත්,තවදුරටත් ඒ පිරිස් ගැන බුද්ධි අංශ සෝදිසියෙන් සිටින බවත් පෙන්වාදුන්නේය.

ඒ අනුව එවැනි අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරිත්වය සඳහා දේශන පවත්වන්නන් පිළිබඳවද කිසිදු තොරතුරක් වාර්තාවී නොමැති බව සේනාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY